ශ්‍රීලංකන් ගුවන් සේවය ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සහය දක්වයි.

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සහය වෙමින් වනාන්තරයක අක්කර භාගයක ප්‍රමාණයක් නැවත වගා කර වසර 3 ක් යනතෙක් නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ද පසුගියදා සිය දායකත්වය ලබා දුන් බව පවසයි.

2021 පෙබරවාරි 20 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වන පාබල සේනාංකය විසින් පැල නැවත සිටුවීමේ ස්ථානය වන“Sinathnagar” හි දී මෙම අරමුදල් නිල වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දුන් අතර එම උත්සවය මන්නාරමේ දී සංවිධානය කර තිබිණි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, වෘත්තීය සමිති සහ ගුවන් සමාගමේ පරිසර ඒකකයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම උත්සවය නියෝජනය කළහ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි හෙක්ටයාර් 2000 ක වනාන්තරක් නැවත වගා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලද ‘තුරුලිය වෙනුවෙන් අපි’ වගා වැඩසටහන සඳහා 2019 වසරේ පරිසර දිනයේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල ද සිය සහයෝගය ලබාදෙන ලදී.

Visits: 23