කුලියාපිටියේ ‘වෙස්ටර්න් ඔටෝමොබයිල්’ කර්මාන්තශාලාව ඉදිකර අවසන්ලු?

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ප්‍රදේශයේ ඉදි කිරීම් ආරම්භ කෙරුණු ‘වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි පෞද්ගලික සමාගමේ’ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාව ඉදිකිරීමේ කටයුතු මේ වනවිට අවසන් කෙරී ඇතැයි සමාජ මාධ්‍ය තුළ ඡායාරුප පළ කෙරී ඇත.

2015 වසරේදී සෙනොක් ඔටෝමොබයිල්ස් සමාගමේ මූලිකත්වයෙන් ජර්මනියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව අතර ඇති කරගත් එකඟතාවකට අනුව මෙම කර්මාන්තශාලාව පිහිටුවීම ඇරඹුණි. පැවැති යහපාලන රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙපළ 2017 වසෙර්දී මේ සඳහා මුල් ගල් තබා තිබුණි.

කෙසේ වෙතත් වොක්ස්වැගන් සමාගමේ ඇති වූ තත්ත්වයන්ද සමගින් එම සමාගම මෙම එකඟතාවෙන් ඉවත් වූ අතර, පසුව මෙම කර්මාන්තශාලාව මෙලෙස ‘වෙස්ටර්න් ඔටෝමොබයිල්’ ලෙස නම් වෙනස් කෙරිණි.

මෙම කර්මාන්තශාලාව හරහා වසරකට එන්ජින් ධාරිතාව 1,000 සිට 2,000 දක්වා වන ඩීසල් මෝටර් රථ 10,000ත් 15,000 ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය සැලසුම වී තිබූ බව මෙම ආයෝජනය සඳහා අනුමැතිය ලබා දුන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ එවක සභාපතිවරයාව සිටි උපුල් ජයසූරිය මහතාද පවසා තිබුණි. එහිදී පළමු වසර තුනේදී දේශීය වෙළෙඳ පොළ වෙතද නිෂ්පාදන ඉදිරිපත් කරන බව සඳහන් විය.

කෙසේ වෙතත් 2019 වසර මැදක් වන තෙක්ම මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු නොවූ අතර එය කඩිනමින් ක්‍රියාත්මක නොවන්නේ නම් එම ව්‍යාපෘතිය අවලංගු කරදැමීමක් සිදු කරන බවට එම අවස්ථාවේදී පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.

මෙම වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි පෞද්ගලික සමාගම සිය ෆේස්බුක් වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 2020 දෙසැම්බර් 12 වැනිදා වනවිට මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් යම් තරමකින් ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය දැකගත හැකිය.

ඒ අනුව එම ඡායාරූප හා මෑතකදී නිකුත්ව ඇති ඡායාරූප හා සසඳා බැලීමේදී මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සෑහෙන දුරකට අවසන්ව තිබෙන බව පෙනී යයි.

මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සහ එහි ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා වෙබ් අඩවිය’ එම සමාගම සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක නොවුණි.

සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව කුලියාපිටිය ලබුයාය ප්‍රදේශයේ වර්ග මීටර් 60,000ක භූමියක ඉදි කෙරෙන මෙම මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවට අමතරව මෝටර් රථ එකලස් කිරීම පිළිබඳ පුහුණු පාසලක්ද ස්ථාපිත කිරීමට නියමිතව ඇතැයි පැවසෙයි.

ඡායාරූප – කලම්බු අර්බන් ඩයිජස්ට් ෆේස්බුක් පිටුවෙනි

Visits: 682