ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සුපිරි වෙළඳ සංකීර්ණය අගමැති අතින් විවෘත වෙයි

සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12 සංඝරාජ මාවතේ පිහිටි නවීකරණය කරන ලද සුපිරි වෙළඳ සංකීර්ණය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (පෙබරවාරි 05) පෙරවරුවේ විවෘත විය.

සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ දේශීය නිෂ්පාදන ආර්ථිකයට රට පෙළගැස්වීමේ කාර්යය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම සුපිරි වෙළඳ සංකීර්ණය නවීකරණය කර තිබෙන බව අගමැති කාර්යාලය පවසයි.

මේ අතර, ලෝක ජනාවාස දිනය වෙනුවෙන් සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ චිත්‍ර තරගය ජයග්‍රහණය කළ දරුවන්ට අග්‍රාමාත්‍යතුමා අතින් ත්‍යාග හා සහතික ප්‍රදානය කෙරිණි.

අනතුරව සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නවීකරණය කළ සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළෙඳ ප්‍රදර්ශන කුටි අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයටද ලක් වී තිබේ. මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ,  සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර, සාමාන්‍යධිකාරී දිලුම් රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව ඇත.

Visits: 78