චීන ණය සහ විදේශ මුදල් හුවමාරු බලාපොරොත්තු වෙළෙඳ පොළ ශක්තිමත් කරයි

අද (මාර්තු 05) වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු වූ ගනුදෙනු ආරම්භයේදී යම් කැළඹිලි සහගත තත්ත්වයක් පෙන්නුම් කළද පසුව එය පෙර අවස්ථා හා සාපේක්ෂව යම් ශක්තිමත් යථාවත්වීමකට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම චීනය සහ ඉන්දියාවත් සමගින් පිවිසීමට නියමිත එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක් පමණ වටිනා ණය සහ විදේශ මුදල් හුවමාරු එකඟතාව යනාදිය මේ සඳහා හේතු වී ඇතැයි ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,944.04ත් ඒකක 7,086.55 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,054.49 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 04) දිනයට සාපේක්ෂව ඒකක 52.45 ක් එනම් 0.75%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 107ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 54ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+8.2), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+6.79), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+5.36), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.26), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+4.24), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-5.49), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-3.71), ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස් පීඑල්සී TRANS (-3.7), ටීජේලංකා පීඑල්සී TJL (-2.27), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (-2.22) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,791.57 ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 04) දිනයට සාපේක්ෂව ඒකක 22.69 ක එනම් +0.82%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.07ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 04) වාර්තා කළ රුපියල් බිලියන 3කට සාපේක්ෂව 31% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.09ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 4.20%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 88.67ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 361.42ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 272.75කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 14.52ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 9.99 කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 108.85ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 514ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 411ක සහ රුපියල් මිලියන 365ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 461