චමත් පලිහපිටිය වර්ජින් ගැලක්ටික්හි තිබූ සිය කොටස් ඩො.මි. 213කට විකුණයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි වර්ජින් ගැලක්ටික් හෝල්ඩිංග්ස් ඉන්කෝපරේෂන් සමාගමෙහි සභාපතිවරයා වන බිලියනපති ව්‍යාපාරික චමත් පලිහපිටිය, එම සමාගම තුළ තිබූ සිය පෞද්ගලික කොටස් ප්‍රමාණය ඩොලර් මිලියන 213ක වටිනාකමකට අලෙවි කර දමා ඇතැයි ජාත්‍යන්තර බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් විසින් ආරම්භ කළ මෙම වර්ජින් ගැලක්ටික් හෝල්ඩිංග්ස් ඉන්කෝපරේෂන් සමාගම අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය වෙනුවෙන් පිහිටුවූවකි. එහි සභාපතිවරයා වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත චමත් පලිහපිටිය අද වන විට ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු ලෙස පිළීගැනීමට ලක්ව සිටියි.

ඉදිරියේදී දේශගුණික විපර්යාසවලට එරෙහි සටන සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් තමන් මෙලෙස වර්ජින් ගැලක්ටික් හෝල්ඩිංග්ස් ඉන්කෝපරේෂන් සතුව තිබූ සිය කොටස් අලෙවි කර දැමූ බව චමත් පලිහපිටිය පවසා ඇත.

“මගේ ඉදිරි ආයෝජන පිළිබඳ තොරතුරු මීළග මාස කිහිපයේදී ප්‍රසිද්ධියට පත් කරන්නට හැකි වේවි.” යනුවෙන් චමත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම කොටස් අලෙවියත් සමගින්ම අද (මාර්තු 05) දිනයේදී නිව්යෝර්ක් කොටස් හුවමාරුව තුළ වර්ජින් ගැලක්ටික් සමාගමේ කොටස් වටිනාකම ඩොලර් 25.43ක් දක්වා 16%කින් පහත වැටී ඇත. එසේම එය පසුගිය පෙබරවාරි මාසය මැදදී සමාගමේ කොටසක් හිමි කරගත් ඉහළම වටිනාකම මෙන් 55%ක කඩා වැටීමක් ලෙසත් සඳහන් වෙයි.

චමත් පලිහපිටිය වෙත අයත් සෝෂල් කැපිටල් හෙඩොසොෆියා සමාගම හා වර්ජින් ගැලක්ටික් සමාගම අතර ඇති වූ ඒකාබද්ධවීමක් සමගින් පලිහපිටිය මෙලෙස එම සමාගමේ සභාපතිවරයා බවට පත්විය. මෙම ගනුදෙනුවේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 800ක් රැස් කරගැනීමට සමාගම වෙත හැකි වූ අතර, එහිදී පලිහපිටිය විසින් ඍජුවම ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඊට ලබා දී ඇත.

කෙසේ වෙතත් පලිහපිටිය සතුව වර්ජින් ගැලක්ටික් සමාගමේ තවත් කොටස් මිලියන 15.8ක හිමිකාරීත්වයක් පවතින බවත්, සිය හවුල්කරුවා වන ඉයන් ඔස්බෝර්න් සමගින් එක්ව තම සෝෂල් කැපිටල් හෙඩොසොෆියා සමාගම හරහා මෙම කොටස් මිලදී ගැනීමක් සිදු කර ඇතැයිද මාධ්‍ය පවසයි. එය සමාගමේ කොටස් ප්‍රතිශතයෙන් 6.5%ක් පමණ වෙයි. පසුගිය දෙසැම්බර් මාසයේදීද චමත් පලිහපිටිය සමාගම තුළ තිබූ ඩොලර් මිලියන 100ක් පමණ වටිනා සිය කොටස් අලෙවි කිරීමක්ද සිදු කර තිබේ.

විශේෂයෙන්ම වර්ජින් ගැලක්ටික් සමාගම මගින් සිය මීළග අභ්‍යවකාශ ගමන පමා කිරීමත් සමගින්ම පසුගිය පෙබරවාරි මාසයේ සිටම එහි කොටස් වටිනාකම් 45%කින් පමණ පහත වැටී ඇතැයිද වාර්තා වෙයි. එසේම මෙම දියත් කිරීම සඳහා අලුතින් නියම වී ඇති දින අනුව වර්ජින් ගැලක්ටික් නිර්මාතෘ 70 හැවිරිදි බ්‍රෙන්සන් දැනට මෙම සංචාරය සඳහා මුදල් ගෙවා ඇති පිරිසට පෙරාතුව වෙනමම මෙහෙයුමක් හරහා අභ්‍යවකාශ චාරිකාවක රැගෙන යාමේ සැලසුම්ද පසුපසට ඇදී ගොස් ඇතැයි සඳහන් වෙයි.

මේ අතර විදෙස් මාධ්‍ය පවසන ආකාරයට මෙම වර්ජින් ගැලක්ටික් මෙහෙයුම හරහා අභ්‍යවකාශ චාරිකාවේ යෙදීමට මේ වනවිට සිය ගණනක පිරිසක් සැදී පැහැදී සිටින අතර එහිදී විනාඩි 90 ක සංචාරයක් සඳහා ඔවුන් ගෙවීමට සූදානම්ව සිටින මුදල ඩොලර් 250,000 කි.

Visits: 1532