ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදක්වයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම වැඩිදියුණු කළ විශේෂිත නව අංග සහිතව www.srilankan.com වෙබ් අඩවිය එළිදැක් වූ බව පවසයි.

මෙමගින් ශ්‍රීලංකන් පාරිභෝගිකයන්ට විශේෂිත වූ සේවා අත්දැකීම් සහ වැඩිදියුණූ කරන ලද පහසුකම් අත්විඳීමේ අවස්ථාව උදාවේ. නව වෙබ් අඩවිය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ට අනුව සහ උසස්ම තත්වයේ භාවිතයන්ට අනුකූලව වඩා හොඳ කාර්ය සාධනයක් සහතික කරනු ඇතැයි සමාගම සඳහන් කරයි.

ගුවන් ගමන් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ගුවන් සමාගම විසින් වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර බොහෝ ගමනාන්තවල නවතම ගාස්තු සහ සංචාරක තොරතුරු පහසුවෙන් බැලීමට මෙමගින් හැකිවේ. එසේම බාධාවකින් තොරව වෙබ් අඩවිය හරහා සංචාරකයින්ට ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට ඉඩ සලසා දී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් අංශ ප්‍රධානී දිමතු තෙන්නකෝන් මහතා සඳහන් කළේ වැඩිදියුණු කළ srilankan.com වෙබ් අඩවිය ගනුදෙනුකරුවන්ට ඍජුවම සංචාරක කටයුතු සිදුකරළීමට හැකි අයුරින් පරිවර්තනය කර ඇති බවයි.

“විශේෂයෙන් මෙම වර්තමාන ගෝලීය තත්වය තුළ, ඉහළ විශ්වාසදායක සහ පහසු මෙවලමක් ලෙස ගනුදෙනුකරුවන් සඳහා මෙම වෙබ් අඩවිය ප්‍රචලිත කරලීම අපගේ ඉලක්කයයි. නව srilankan.com වඩාත් පරිශීලක-හිතකාමී, තොරතුරු සහිත වන අතර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ කැමැත්ත පරිදි ටිකට්පත් වෙන්කරවා ගැනීමට සහ කළමනාකරණය කිරීමට හැකියි”. යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

srilankan.com වෙබ් අඩවිය දැනට සිටින සහ නව ගනුදෙනුකරුවන් සඳහා සම්පූර්ණ සංචාර කළමනාකරණ අවස්ථාවක් ලබා දෙයි. සංචාරක අවශ්‍යතා සහ නවතම යාවත්කාලීනයන් පිළිබඳ තොරතුරු, ටිකට් පතක් වෙන්කරවා ගැනීම, ව්‍යාපාරික පන්තියට උසස් කිරීමක් ඉල්ලා සිටීම, අමතර නිදන කාමරයක් සහිත ආසනයක් ලබා ගැනීම, ආසනයක් උසස් ලෙස වෙන් කරවා ගැනීම, ආහාර පිළියෙල කිරීම, මාර්ගගත පිරික්සුම, පැය 24 පුරා සම්බන්ධතා සහය සහ වෙනත් විකල්ප රැසක් මෙමගින් ලබා දී තිබේ. එපමණක් නොව, ගමන් මලු හැසිරවීම සහ වෙනත් සාමාන්‍ය තොරතුරු රැසක් ලබාදෙන අතර ගුවන්තොටුපල, ගුවන් යානයේ විස්තර සහ ජංගම යෙදුම් බාගත කිරීමේ උපදෙස් පිළිබඳ තොරතුරු ද සපයයි.

ශ්‍රීලංකන් ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයින්ට ඔවුන්ගේ අනන්‍යතාවය සහතික කර වෙබ් අඩවියට පිවිසිය හැකි අතර ඔවුන්ගේ අභිමතය පරිදි මයිල්ස් උපයා ගැනීමටත් ඒවා භාවිත කිරීමටත් පහසුකම් සලසා දී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී චාමර පෙරේරා මහතා මෙසේ පැවසීය.” ගුවන් ගමන් සඳහා ජාත්‍යන්තර සංචාරයන් ලිහිල් කරන මොහොතක ක්‍ෂේත්‍රයේ නව අංගයන් ඇතුලත් කර අපගේ වෙබ් අඩවිය නැවත ආරම්භ කිරීම ගුවන් සමාගම විසින් ගනු ලැබූ කාලෝචිත පියවරක් .මෙහි ඇති නව අංගයන් අපගේ ගනුදෙනුකරුවන් ඇතුළු සියලු පාර්ශවකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඉතා පහසු වෙනවා. ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර පිළිබඳ අපි බලා සිටිනවා. වෙබ් අඩවියේ නව දැක්ම ඔවුන්ට අප සමඟ පියාසර කිරීමට විශාල බලපෑමක් කරනු ඇති බවට විශ්වාසයි.”

නව විශේෂාංග මගින් පාරිභෝගිකයින්ට තොරතුරු පමණක් නොව පාරිභෝගික සහාය, කොවිඩ් -19 පිළිබඳ යාවත්කාලීන සංචාරක තොරතුරු සහ පැය 24 පුරා ක්‍රියාත්මක සේවා සහය ලබා ගැනීමේ අවස්ථාව ද ලබා දී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය හා පද්ධති ඒකාබද්ධතා කළමනාකරු කොන්රඩ් රේෂාන්ත මහතා මෙසේ පැවසීය. “Srilankan.com වෙත පැමිණෙන අමුත්තන්ට හොඳම දීමනා සහ අඩුම ගාස්තු පහසුවෙන් සොයා ගැනීම සඳහා විශේෂාංග ගණනාවක් ලැබෙනවා. අපගේ මගීන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමටත් ඔවුන්ගේ වෙන්කිරීමේ ක්‍රියාවලිය සරල හා වඩා අන්තර්ක්‍රියාකාරී කිරීමටත් අපි අපේක්ෂා කරනවා.”යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Visits: 34