මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ප්‍රථම ජාතික උපාය මාර්ගය එළි දැක්වෙයි

ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ප්‍රථම ජාතික උපාය මාර්ගය අද දිනයේ දී එළිදැක්වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා වෙත එම උපාය මාර්ගය පිළිගැන්වීම සිදු කෙරී ඇත.

මෙම අවස්ථාව සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාක්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා සහ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත අමීනා අරීෆ් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

මෙම උපායමාර්ගය, විවිධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනයන්හි ප්‍රවීණතා ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් ගනු ලැබූ බහු පාර්ශ්වීය උත්සාහයක ප්‍රතිඵලයක් බව මහ බැංකුව පවසයි.

“මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගික එළිදැක්වීමත් සමග ශ්‍රී ලංකාව, මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම තුළින් තිරසාර සහ සහභාගීත්ව ආර්ථික වර්ධනයක් උදා කරගැනීම සඳහා උපායමාර්ගයන් සකස් කරන ලද හැටකට වැඩි රටවල් අතරට එක්වනු ඇත.” යනුවෙන්ද මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගය, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය (www.cbsl.gov.lk) ඔස්සේ ලබා ගත හැකිය.

Visits: 142