මාර්තු මාසයේ සිව්වැනි දිනයටත් දර්ශක අගයන් ඍණ වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි පවතින කඩා වැටීම තවදුරටත් පෙන්නුම් කරමින් අද (මාර්තු 04) දිනයේදීද දර්ශක අගයන් දරුණු ලෙස කඩා වැටීමක් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 6,990.33ත් ඒකක 7,255.52 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,002.04 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 03) දිනයට සාපේක්ෂව ඒකක 191.05 ක් එනම් -2.66%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සහ කොමර්ෂල් බැංකුව අතර සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 8.7%ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 22ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 154ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ හැටන් නැෂනල් බැංකුව HNB (+0.47), පාම් ගාර්ඩන් හොටෙල්ස් පීඑල්සී PALM (+0.31), පීපල්ස් මර්චන්ට්ස් ෆිනෑන්ස් පීඑල්සී PMB (+0.3), ජෙට්වින්ග් සිම්ෆනි පීඑල්සී JETS (+0.23), මහවැලි රීච් හොටෙල්ස් පීඑල්සී MRH (+0.23), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-32.06), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-10.56), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-10.22), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-10.07), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.86) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,768.88 ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 03) දිනයට සාපේක්ෂව ඒකක 67.87 ක එනම් -2.39%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 03) වාර්තා කළ රුපියල් බිලියන 2.43ට සාපේක්ෂව 27% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.06ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 3.42%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 421.38ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 443.08ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 21.7කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 14.24ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 121.65 කි. එසේම කොමර්ෂල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 100.98ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 682ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 609ක සහ රුපියල් මිලියන 568ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 282