HNB ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ශල්‍ය උපකරණ ප්‍රදානයක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් තව දුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් පසුගියදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ශල්‍ය උපකරණ හා අත්‍යාවශ්‍ය උපාංග ප‍්‍රදානය කිරීමට කටයුතු කරනු ලැබූ බව පවසයි.

දෛනිකව රෝගීන් විශාල පිරිසකට සෙත සලසන ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට වැඩි කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා මෙම වැඩසටහන මගින් HNB හට අවස්ථාව ලැබී ඇත. ඒ වෙනුවෙන් ශල්‍ය උපකරණ හා අනෙකුත් උපාංග නිල වශයෙන් ජාතික රෝහල වෙත පිරිනැමීම සඳහා HNB උපායමාර්ගික සැලසුම්කරණ පිළිබඳ ප‍්‍රධාන කළමනාකාර, ප‍්‍රියංක විජයරත්න, HNB තිරසර ව්‍යාපාර ප‍්‍රධානී, ශනෙල් පෙරේරා සහ HNB සමාජ වගකීම් හා තිරසාරභාවය පිළිබඳ සහකාර වී. දිශාරත්නම් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB Chief Transformation Officer/HNB තිරසාර පදනමේ භාරකාර චිරන්ති කුරේ මහත්මිය සඳහන් කර සිටියේ ‘‘මේ වන විට සියලූ ශ‍්‍රී ලාංකිකයන් පැතිරෙමින් පවතින Covid-19 වසංගතයට එරෙහිව සටන් කරමින් සිටිනවා. එහිදී මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරන සෞඛ්‍ය වෘත්තිකයන් සිදු කරන කැපවීම ඉතා විශිෂ්ටයි. ඔවුන්ගේ සේවාව වෙනුවෙන් අපගේ ස්තුතිය මෙන්ම කෘතඥතාව ඔවුන් වෙත පළ කිරීමේ සංකේතයක් ලෙස මෙම ප‍්‍රදානය සිදු කිරීමට අප කටයුතු කළා.’’ යනුවෙනි.

වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී රට වසා දැමීමට කටයුතු කිරීමෙන් පසු HNB විසින් මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විවිධාකාරයෙන් දායකත්වය දැක්වූ අතර එම පරිත්‍යාගවල තවත් පියවරක් ලෙස මෙම ශල්‍ය උපකරණ හා අනෙකුත් උපාංග ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත පිරිනැමීම සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ මහතා ‘‘Coivd-19 වසංගත කාලය තුළ අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් ලබා දෙන්නට HNB කටයුතු කර තිබෙනවා. මේ තුළින් රෝහලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් වඩා හොඳ සේවාවක් ලබා දීමට හැකියි. බැංකුව විසින් ශ‍්‍රී ලංකා ජාතික රෝහල වෙත ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අපගේ ස්තුතිය මේ මොහොතේ පුදකර සිටින අතරම ඉදිරියේදී මෙවැනි දුෂ්කර වකවානුවලදී ද සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් පවසා ඇත.

ශ‍්‍රී ලංකාවේ විශාලතම ශික්ෂණ රෝහල වන කොළඹ ජාතික රෝහල ඇඳන් 3000කින් සමන්විත වන අතර අනෙකුත් සියලූ රෝහල්වලින් සුවය නොලබන රෝගීන් යොමු කරනු ලබන්නේ ද කොළඹ ජාතික රෝහල වෙතය. එසේම කොළඹ ජාතික රෝහල වෛද්‍ය පීඨ උපාධි අපේක්ෂකයන් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් සඳහා වන පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද ක‍්‍රියාත්මක වේ.

Visits: 29