විදුල්ලංකා පීඑල්සී ඔරික් කෝපරේෂන්හි 51%ක් අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි උපයෝගිතා අංශය යටතේ ලැයිස්තුගත සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සීමාසහිත ඔරික් කෝපරේෂන් (පෞද්) සමාගමේ 51%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කර ගැනීම පසුගියදා සිදු වූ බව පවසයි.

මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් සමාගමක් වන ඔරික් කෝපරේෂන් සමාගම සතුව මොනරාගල ප්‍රදේශයේ භූමිය මත ඉදි කෙරෙන මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් සඳහා වන හිමිකම සහ අනුමැතිය සහිත බවත් සඳහන් වෙයි.

එසේම අද වනවිට ඔරික් කෝපරේෂන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඇති කරගෙන තිබෙන බලශක්ති හුවමාරු එකඟතාව යටතේ, එම සමාගම මගින් වසර 20ක කාලයක් සඳහා ඒකකයක් රුපියල් 15.97 බැගින් මණ්ඩලය වෙත ගෙවීමක්ද සිදු කරන බවත් පවසයි.

මෙම කොටස් අත්පත් කරගැනීමට අනුව විදුල්ලංකා සමාගම තවදුරටත් ඔරික් කෝපරේෂන් සමාගමේ 10%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට නියමිතව ඇති බවත්, එසේම තවදුරටත් සිදු කරන ආයෝජන හරහා අදාළ සමාගම තුළ තම හිමිකාරීත්වය 87%ක් දක්වා වර්ධනය කරගැනීමටත් කටයුතු යොදන බවත් පවසා සිටියි.

මෙහිදී අදාළ අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් පසුගිය දෙසැම්බර් මාසයේ 22 වැනිදා නිවේදනය කළ රුපියල් මිලියන 250ක් වටිනා සිය නිෂ්ඡන්ද කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට මොනරාගලදී සිදු කරන ඉහත සඳහන් ව්‍යාපෘතිය අත්පත් කරගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 125ක් ලෙස ගණන් බලා තිබේ. මේ අතර විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් සීමාසහිත වෙනර්ජි ලංකා (පෞද්) සමාගම ලෙස සිය පූර්ණ පරිපාලිත සමාගමක් ද ස්ථාපිත කර ඇති බවත්, ඒ හරහා තරගකාරී ටෙන්ඩර් සඳහා ලංසු ඉදිරිපත් කිරීම මූලික අරමුණ බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 369