JKH නිසා ඉහළ ගිය දර්ශක අගයන් පසුව පහළ බසී

අද (මාර්තු 02) දිනය ආරම්භයේදීම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි කොටස් වටිනාකම් යම් ඉහළ නැගීමක් සමගින්ම දර්ශක අගයන්ගේ වර්ධනයක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳ ආයෝජන යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වීමත්, එම ව්‍යාපෘතියේ දේශීය හවුල්කාරීත්ව සමාගම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වීමත් ඊට හේතු වූ බව පැවසෙයි.

කෙසේ වෙතත් විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම්හි කොටස් අලෙවි කිරීම සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පැවැති කලබලය නිසා මිනිත්තු ගණනක් තුළදී දර්ශක අගයන් පහළ බැසීමක් සිදුව තිබේ. එසේම අද දිනයේදී බැංකු අංශය කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇති අතර, දිනයේ පිරිවැටුමෙන් 31%ක් සඳහා සම්පත් බැංකුව දායක වී ඇත.

මේ අතර, රටෙහි ආර්ථික තත්ත්වයේ පැහැදිලි වර්ධනයක් සම්බන්ධයෙන් ආයෝජකයන් තවදුරටත් කල්මරමින් සිටින බවත් විශේෂයෙන්ම විදේශ මුදල් සංචිත ප්‍රමාණයේ වර්ධනයක් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවත් කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,331.25ත් ඒකක 7,458.85 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,343.38 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 01) දිනයට සාපේක්ෂව ඒකක 94.75 ක් එනම් -1.27%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ලයන් බෘවරි සිලෝන් පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී යන සමාගම් තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 32.4%ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 40ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 125ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+2.79), යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (+1.72), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+1.51), අමානා බැංකුව ABL (+1.19), ආසිරි සර්ජිකල් හොස්පිටල්ස් පීඑල්සී AMSL (+1.09), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-11.14), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-9.47), වැලිබල් වන් පීඑල්සී VONE (-6.46), හේලීස් පීඑල්සී HAYL (-4.97), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-4.92) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,909.77 ක අගයක් ගත් අතර, එය ඊයේ (මාර්තු 01) දිනයට සාපේක්ෂව ඒකක 54.53 ක එනම් -1.84%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.98ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 01) වාර්තා කළ රුපියල් බිලියන 1.90ට සාපේක්ෂව 5% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.21ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.47%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 92.26ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 791.12ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 698.86කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 14.22ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 16.43කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 579.23ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 840ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 42% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 375ක සහ රුපියල් මිලියන 237ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 443