සෙලින්කෝ ලයිෆ් 2020 දී රුපියල් බිලියන 36.98 ක ආදායමක් වාර්තා කරයි

  • රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 22.1 ක් දක්වා 17.9% කින් ඉහළට
  • ආයෝජන සහ අනිකුත් ආදායම් රුපියල් බිලියන 14.9 ක් දක්වා 11.3% කින් වර්ධනය වෙයි
  • සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 150 සීමාව පසු කරයි
  • අඛණ්ඩව 17 වන වසරටත් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වෙයි

දැඩි අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා ව්‍යාපාරික පරිමාව සහ ආයෝජන ප‍්‍රතිලාභ වැඩිකර ගැනීමට සමාගම සතුව තිබෙන හැකියාව පෙන්නුම් කරමින් 2020 මූල්‍ය වසරේදී රුපියල් බිලියන 36.98 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත්වී තිබේ.

සමාගමේ ඒකාබද්ධ ආදායම පෙර මූල්‍ය වසරට සාපේක්ෂව 15.2% කින් වර්ධනය වී තිබෙන අතර මෙම වර්ධනය සඳහා 2020 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී 2019 වසරට සාපේක්ෂව 17.9% ක වර්ධනයක් පෙන්නුම් කරමින් සමාගම විසින් වාර්තා කළ රුපියල් බිලියන 22.1 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායම හේතුවී ඇත. මීට අමතරව, 2020 මූල්‍ය වසරේදී සමාගමේ ආයෝජන සහ අනිකුත් ආදායම් රුපියල් බිලියන 14.9 ක්වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 11.3% කින් වර්ධනය වී ඇතැයි මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා සඳහන් කරයි.  

එසේම, ජීවිත රක්ෂණ ව්‍යාපාරය වර්ධනය වීම නිසා පිට පිටම 17 වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත්වී ඇත. 

මේ අතර, සලකා බලන වසර තුළදී සමාගම විසින් රක්ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 12.2 ක ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ ගෙවා තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 15.7% ක වර්ධනයකි. එසේම, සලකා බලන කාල සීමාව තුළදී සමාගම විසින් රුපියල් බිලියන 9.42 ක් ජීවිත රක්ෂණ අරමුදලට බැරකර තිබෙන අතර 2020 දෙසැම්බර් 31 වනදා වනවිට ජීවිත රක්ෂණ අරමුදල 10.94% කින් වර්ධනය වී රුපියල් බිලියන 106.74 ක්වී තිබේ.

සමාගමේ සමස්ත වත්කම් සලකා බලන මූල්‍ය වසර තුළදී රුපියල් බිලියන 17.6 කින් හෙවත් සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 1.4 කට වඩා වර්ධනය වී වසර අවසන් වනවිට එහි වටිනාකම රුපියල් බිලියන 150 සීමාව පසුකළ බව සමාගම සඳහන් කරයි. මේ අතර, සමාගමේ ආයෝජන කළඹ 2020 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් බිලියන 133.7 සීමාවට පැමිණි අතර එය සලකා බලන වසර තුළදී 14.36% වර්ධනය වී ඇත. 

සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා (වමේ) සහ
කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා.

‘ගෝලීය කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ඇතිවී තිබෙන නව සාමාන්‍ය තත්ත්වයට අනුගතවීමට සමාගමට තිබෙන හැකියාව සහ ශක්තිය නිසා සලකා බලන වසරේදී සමාගමේ ආදායම් ශක්තිමත් ලෙස වර්ධනය වුණා,’ යනුවෙන් නව මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසීය.

‘ඉතාමත් කෙටි කාලයක් තුල තාක්ෂණය, අධිෂ්ඨානය සහ නවෝත්පාදනය ප‍්‍රවර්ධනය කිරීම මගින් ඉහළම ප‍්‍රතිලාභ ලබාගන්නා පරිදි අපගේ ආයෝජන උපායමාර්ගිකව කළමනාකරණය කරගන්නා අතරම ජීවිත රක්ෂණ ඔප්පු අලෙවි කිරීම, රක්ෂණ හිමිකම් ගෙවීම සහ නව සේවා සංවර්ධනය කිරීම අපි සිදුකළා. වසංගතයේ බලපෑම දිගින් දිගටම ව්‍යාපාරයට බලපෑම් සිදුකළත් අපගේ පද්ධති සහ කණ්ඩායම් ජීවගුණය තුළින් අපට තවදුරටත් වර්ධනය විය හැකි බව අපට විශ්වාසයි.’

සලකා බලන මූල්‍ය වසර තුළදී සමාගම විසින් ජීවිත රක්ෂණ අරමුදලෙන් රුපියල් බිලියන 4.1 ක මුදලක් කොටස්කරුවන්ගේ අරමුදලට බැර කර තිබෙන අතර 2020 වසර අවසන් වනවිට කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 38.1 ක් දක්වා වර්ධනය වී තිබේ.

එසේම, 2020 මූල්‍ය වසර තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගම බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 8.77 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය පෙර වසරට වඩා 6.75% ක වර්ධනයකි. මේ අතර, සමාගම විසින් සලකා බලන මූල්‍ය වසර තුළදී රජයට බදු ගෙවූ පසුව රුපියල් බිලියන 6.93 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 3.93% ක වර්ධනයක් වේ.

සලකා බලන වසර තුළදී සමාගමේ කොටසකට අදාළ මූලික ලාභය රුපියල් 138.68 ක්වී තිබෙන අතර 2020 දෙසැම්බර් 31 වනදා වනවිට කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 762.90 ක්වී ඇත. මේ අතර, 2020 මූල්‍ය වසර තුළදී සමාගමේ වත්කම් වලට අදාළ ප‍්‍රතිලාභය 4.60% ක්වී තිබෙන අතර කොටසකට අදාළ ප‍්‍රතිලාභය 18.18% ක්වී තිබේ. 

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී.

එසේම, 2019-20 වසර වලදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී. 

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

Visits: 73