“දේශීයව වාහන නිෂ්පාදනය රටේ ආර්ථිකයට වටිනාකමක් එක් කරන්නේ නෑ” – VIASL

වාහන ආයනයන සම්බන්ධයෙන් රජය විසින් මේ වන විට පනවා ඇති තහනම හේතුවෙන්, වාහන ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

2020 මාර්තු මස සිට මෙරට බලාත්මක වුණු වාහන ආනයන තහනම වාහන ආනයනකරුවන්ට මෙන්ම අදාළ සියලුම ක්ෂේත්‍ර කෙරෙහි සුවිශාල බලපෑමක් එල්ල කර තිබේ.

පනවා ඇති මෙම ආනයන තහනම හේතුවෙන්, වාහන ආනයනකරුවෝ මෙන්ම අදාළ සේවා සපයන්නෝද මේ වන විට ආයතනික නඩත්තුව, බැංකු ණය සේවක වැටුප් සඳහ වන වියදම් පියවා ගත නොහැකිව, දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.

එමෙන්ම, රට තුළ වාහන ආනයනකරුවන් විශාල පිරිසක් සිය වාහන ප්‍රදර්ශනාගාරයන් තුළ එකම වාහනයක්වත් නොමැති තත්ත්වයකට මුහුණ පා සිටින අතර, ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව  පැවතීමට සහ සේවක වැටුප් ගෙවීම සඳහා ඔවුහු ඉමහත් පරිශ්‍රයක් දරති.

මෙම තහනම තවදුරටත් ක්‍රියාත්මක වුවහොත්, ඔවුනට සිය ව්‍යාපාර වසා දමා,  සියලුම සේවකයින් ඉවත් කිරීමට බල කෙරෙන තත්ත්වයක් උදාවනු ඇත.එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වුවහොත්,ක්ෂේත්‍රයේසේවයෙහි නිරත 100,000 සෘජු හා වක්‍ර සේවක පිරිසකට රැකියා අහිමි වන බවට,ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය ගණන් බලා තිබේ. ඒ අනුව, මෙම සේවක පිරිස වෙතින් යැපෙන්නන් 350,000-400,000 අතර පිරිසක් දැඩි පීඩාවකට පත්වීම නිතැතින්ම සිදු වන කාරණයකි.

ඇතැම් වාහන ආනයනකරුවන් මෙන්ම රජයේ බලපත්‍රලාභී ආනයනකරුවන්ද, මෙකී තහනමට පෙර වාහන මිලදී ගැණීම සඳහා ණයවර ලිපි යවා ඇති බැවින්, එම වාහන ආනයනය කිරීම පිණිස රජය විසින් අවස්ථාව ලබා දිය යුතුය. මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය,ආනයනය කරන ලද වාහන නිෂ්කාෂණය කිරීම පිළිබඳ සියලු චක්‍රලේඛනැවත සලකා බැලීමේ පදනමක් මත ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්, තමන් ගෙන්වීම සඳහා ඇණවුම් කර නීත්‍යානුකූලව තහවුරු කර ඇති වාහන ආනයනය කිරීමට බලපත්‍රලාභී ආනයනකරුවන් ඇතුළු කිහිපදෙනෙක්ම මහත් පරිශ්‍රයක් දරති.

විදේශ විනිමය ගැටලුවට විසඳුමක් ලෙස, වාහන දේශීයව නිෂ්පාදනය කිරීමට හා එකලස් කිරීමට කටයුතු යොදා ඇතත්, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විශ්වාස කරන්නේ, එය රටේ ආර්ථිකයට කිසිදු වටිනාකමක් එක් නොකරන කටයුත්තක් මෙන්ම, එය හුදෙක් සමාගම් කිහිපයක් සඳහා බදු පැහැර ගෙවීම් හැරීම් සහ ඉහළ ලාභ ආන්තික ළඟා කර ගැනීම පිණිස නිර්මාණය කර ඇති ක්‍රියාවලියක් බවයි. වාහන දේශීයව එකලස් කරන සමාගම් ප්‍රධාන වශයෙන්ම, මුළුමනින්ම පාහේ නිෂ්පාදනය කළ වාහන ආනයනය කරන අතර, දේශීය වශයෙන් අවම නිෂ්පාදන කටයුතු කිහිපයක් පමණක් සිදු කරයි.

මෙම ක්‍රියාවලියේ අවසාන ගොදුර වන්නේ, ආරක්ෂාව සහ වායු විමෝචන ප්‍රමිතීන් නොමැති ගුණාත්මක බවින් පිරිහුණු නිෂ්පාදනයක් ඉහළ මිලක් දී ලබා ගැනීමට බල කෙරෙන සාමාන්‍ය ජනතාවයි. මෙම වාහනවලින් වැඩි හරිය, ඉතාමත් දුර්වල තත්ත්වයේ නිෂ්පාදන වන අතර, නිෂ්පාදිත රටවල ධාවනයට පවා ඉඩ ලබා නොදුන් වාහන ඒ අතර වේ. එමෙන්ම, දේශීයව එකලස් කරන ලද වාහනයක් අලුත්වැඩියා කිරීම සඳහා වැයවන පිරිවැය අතිශයින්ම ඉහළ මට්ටමක පවතින අතර, උසස් තත්ත්වයේ ජපන් / යුරෝපීය වාහනයකට සාපේක්ෂව නැවත විකිණීමේ වටිනාකමද බෙහෙවින් අඩුය. එබැවින්, මෙම සමස්ත ක්‍රියාවලිය මගින් ප්‍රතිලාභ සැලසෙන්නේ,  ශ්‍රී ලංකාවේ තත්ත්වයෙන් බාල වාහන සඳහා අරක්ගෙන සිටින, වාහන නිෂ්පාදකයින් හට පමණි.

මෙකී කාරණා සැලකිල්ලට ගනිමින්, වාහන ආනයනකරුවන් මුහුණ පා සිටින ගැටලුවලට විසඳුමක් ලෙසින්, සිය ආයතනික වියදම් හා සේවක වැටුප් පියවා ගත හැකි  ප්‍රායෝගික සැලැස්මක් පිළිබඳ කතිකා කර ගැනීම පිණිස  ජනාධිපතිවරයා හා සාකච්ඡාවක් ලබා දෙන ලෙස, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි. වගකිව යුතු සංගමයක් ලෙසින්, කෝවිඩ් තත්ත්වය හමුවේ රජය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එම සංගමයට මනා අවබෝධයක් ඇති අතර, ඒ හේතුවෙන් රජය වෙතින් මෙවැනි ඉල්ලීමක් සිදු කරන පළමු අවස්ථාවද මෙයයි.

ක්ෂේත්‍රෙයේ වසර ගණනක දැනුම හා පළපුරුද්ද සහිත විශේෂඥයින් ලෙසින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය, විනිමය රටින් බැහැරට ගලා යාම පාලනය කරන අතරම, වාහන ආනයන ක්ෂේත්‍රයේ පැවැත්ම පිණිස ඉවහල් වන යෝජනා ගණනාවක් ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරයි.

Visits: 208