හේලීස් හි තලවකැලේ හා කැළණිවැලි වතු සමාගම් LMD Top 50 අතරට

හේලීස් වැවිලි සමාගමට අනුබද්ධ මෙරට ප‍්‍රමුඛ පෙළේ තේ සහ රබර් නිෂ්පාදකයින් ලෙස සිය විශිෂ්ටත්වය නැවතවරක් තහවුරු කළ තලවකැලේ වතු සමාගම (TTEL) සහ කැළණිවැලි ප්ලාන්ටේෂන්ස්  (KVPL) 2019/20 වසර සඳහා LMD Top 50 ශ්‍රේණිගත කිරීම් අතර Hall of Fame හි ඉහළම සමාගම් අතරට එක් වීමට සමත්ව ඇත.

එහිදී තලවකැලේ වතු සමාගම LMD Top 50 දර්ශකයේ Hall of Fame හි 4වැනි ස්ථානයට පත් වන විට කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් සමාගම එහි 46 වැනි ස්ථානය හිමි කරගත්තේ ශ‍්‍රී ලංකාවේ වඩාත් සම්මානයට පාත‍්‍ර වූ සමාගම් බවට පත් වෙමිනි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ආයතන හා සමාගම් විසින් හිමි කරගෙන ඇති ජයග‍්‍රහණ පාදක කොට ගනිමින් LMD ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබන අතර 2019 ජනවාරි මස සිට 2020 සැප්තැම්බර් මාසය දක්වා Top 50 දර්ශකය වෙනුවෙන් තෝරා ගනු ලැබූ එවන් ආයතන 204ක් අතුරින් ඉහළම සම්මානලාභී ආයතන Hall of Fame නියෝජනය කරනු ලබයි. LMD Top 50 හි ඉහළම සම්මානලාභී සමාගම් අතර වැවිලි ක්ෂේත‍්‍රය නියෝජනය කරන කෘෂිකර්මය පදනම් කරගත් සමාගම් ද්විත්වය වන්නේද එම සමාගම් පමණක් වීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා සඳහන් කර සිටියේ ‘‘අප නිරන්තරයෙන් අපගේ සියලූ කාර්යයන්හිදී මෙරට වැවිලි කර්මාන්තයේ අනාගතය අරමුණු කටයුතු කරන බව පැවසිය යුතුයි. එවන් තත්වයක් තුළ අපගේ තලවකැලේ වතු සමාගම සහ කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් සම්මානලාභී හොඳම සමාගම් 50 අතරට එක්වීම පිළිබඳව ඉතාමත් සතුටුයි. විශේෂයෙන් එම සමාගම් අතර සිටින එකම කෘෂිකර්මය පදනම් කරගත් සමාගම් ද්විත්වය ලෙස සම්මානයට පාත‍්‍ර වීම මෙරට වැවිලි ක්ෂේත‍්‍රය පමණක් නොව රටක් ලෙසද අප ලද සුවිශේෂී ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම ජයග‍්‍රහණය තුළින් අප නිරන්තරයෙන් විශ්වාස කරනු ලබන ශක්තිමත්ව ඉදිරියට යාමට ඇති හැකියාව මනාව පිළිබිඹු වනවා. මෙවන් ජයග‍්‍රහණ ලබා ගනිමින් තව දුරටත් ඉදිරියට යාම වෙනුවෙන් අපගේ වැවිලි ක්ෂේත‍්‍රය පමණක් නොව සමස්ත ආයතනික අංශයම ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරනවා’’ යනුවෙනි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති හේලීස් වැවිලි සමාගම පසුගිය වසර පුරා කීර්තිමත් සම්මාන රැසකින් පිදුම් ලැබුවේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද සමාජ සංවාද හා සේවා ස්ථාන සහයෝගීතා සම්මාන උළෙලේදී රන් සම්මාන 4 ක්, රිදී සම්මාන 4ක් සහ ලෝකඩ සම්මාන 4ක් තමන් සතු කර ගනිමිනි. එහිදී වැවිලි සමාගමක් දිනාගත් පළමු රන් සම්මානයට හිමිකම් කියූ කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් සුළු පරිමාණ අංශයේ රන් සම්මානයද තමන් සතු කර ගන්නා ලදී.

2018 වසරේදී පවත්වනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමස්ත විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය දිනාගැනීමට තලවකැලේ වැවිලි සමාගම සමත් වූ අතර එම සම්මානය දිනාගත් පළමු වැවිලි සමාගම බවට පත් වූයේ සමාගමේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. ඒ අනුව යමින් 2019 වසරේදී එහි සහෝදර සමාගමක් වූ කැළණිවැලි ප්ලාන්ටේෂන් සමාගමද රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වීම සුවිශේෂී කරුණක් ලෙස ස`දහන් කළ හැකිය.

එසේම 2020 වසරේදී ලොව  පිළිගත් Hallbars තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී මෙම වතු සමාගම් දෙකම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ට සමාගම් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ අතර 2019 ආසියානු තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී ද රිදී සම්මාන දිනා ගැනීමට තලවකැලේ වැවිලි සමාගම සමත් විය.

එසේම පිරිස් කළමනාකාරණ ආයතනය විසින් සංවිධානය කරන ලද 2016 ජාතික මානව සම්පත් විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සම්මානය දිනා ගැනීමටද හේලීස් වැවිලි සමාගම සමත් විය. 2018 හා 2019 වසර වලදීද එම රන් සම්මානය තමන් සතු කර ගැනීමට හේලීස් වැවිලි සමාගමට සමත් වූයේ සම්ප‍්‍රදායික මානව සම්පත් ක‍්‍රමෝපායන් හා ප‍්‍රතිපත්තිවලින් ඔබ්බට යමින් ඔවුන්ටම විශේෂ වූ නව ආදර්ශයක් ක‍්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය මනාව පිළිබිඹු කරමිනි.

ඉන් නොනැවතුණු හේලීස් වැවිලි සමාගම 2017 හා 2018 වසරවල ආසියානු පැසිෆික් මානව සම්පත් විශිෂ්ටතා සම්මාන උළෙලේදීද සම්මානයට පාත‍්‍ර වූයේ එම සම්මානය හිමිකරගත් ප‍්‍රථම වැවිලි සමාගම ලෙස අභිමානවත් එක් කර ගනිමිනි.

Visits: 370