ලාභාංශ නිවේදන ආයෝජක ආකර්ෂණය රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් නොවෙයි

අද (පෙබරවාරි 22) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනු ආරම්භයේ සිටම යම් කැලඹිලි සහගත තත්ත්වයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම මාසය අවසානයේදී ආයෝජකයන් යොමු වුණු ලාභ ඉපැයීමේ අවස්ථාවන් මෙන්ම කලබලකාරී කොටස් අලෙවි කිරීම්ද ඊට හේතුව වූ බව එම සමාගම්වල අදහස වී තිබේ.

මෙම පසුබිමත් සමගින්ම බැංකු ඇතුළු තවත් සමාගම් සිදු කරන ලද ලාභාංශ ගෙවීමේ නිවේදන හට වෙළෙඳ පොළ තුළ ආයෝජකයන්ගේ ආකර්ෂණය පවත්වාගෙන යාමට නොහැකි වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව ඊයේ දිනයේදී ඒකක 7,592.33ත් ඒකක 7,792.74 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,597.51 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 19) දිනයට සාපේක්ෂව ඒකක 200.43 ක් එනම් -2.57%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සී.අයි.සී. හෝල්ඩිංග්ස් පීඑල්සී, කොමර්ෂල් බැංකුව, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 6.4%ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 29ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 166ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+9.35), ඔන්ඇලි හෝල්ඩිංග්ස් පීඑල්සී ONAL (+0.72), කැන්ඩි හොටෙල්ස් කම්පැනි පීඑල්සී KHC (+0.4), ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී AMSL (+0.36), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+0.29), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-33.14), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-12.52), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-12.07), වැලිබල් වන් පීඑල්සී VONE (-9.94), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.86) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,029.79 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 19) දිනයට සාපේක්ෂව ඒකක 68.33 ක එනම් -2.21%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.35ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 19දා) වාර්තා කළ රුපියල් බිලියන 3.48ට සාපේක්ෂව 33% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.32ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 12.23%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 80.06ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 37.73ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 42.34කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 12.14ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 30.91කි. එසේම හේකාර්බ් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 10.8ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 616ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 503ක සහ රුපියල් මිලියන 424ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 465