ඩී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා අවබෝධතා ගිවිසුමකට

දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොටගෙන ඩී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් විශේෂයෙන් නිෂ්පාදනය කරනු ලබන Beta පාවහන් පෙළ තවදුරටත් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ ඇතැයි පවසයි.

ඒ යටතේ ක‍්‍රියාත්මක කෙරෙන “නිරෝගී ලංකා” ව්‍යාපෘතිය උදෙසා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් එහි සභාපතිනිය වෛද්‍ය පද්මා ගුණරත්න, ඩී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ දිල්ශාන් රාජපක්ෂ සහ නිරෝගි ලංකා ව්‍යාපෘතිය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය තුසිත කහඳව යන මහත්ම මහත්මීන් එක්වූ අතර එම අවස්ථාව සඳහා DSI නියෝජනය කරමින් ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී ඔෂිනි ජයසූරිය සහ සහකාර ව්‍යාපාර සංවර්ධන කළමනාකාර ජානක බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද සහභාගී විය.

ඩී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ උපදෙස් අනුව ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතුව නිර්මාණය කරන ලද Beta පාවහන් පැළඳීම මගින් දියවැඩියා රෝගීන්ගේ දෙපාවලට දැනෙන පීඩාව, දෙපාවල තුවාල සිදුවීම හා සම රළු වීම වැනි ගැටලූ ඇතිවීම වළක්වාගෙන තුවාල රහිත දෙපා යුගලක් පවත්වාගත හැකිය.

මෙරට දියවැඩියා රෝගීන්ගේ යහපැවැත්ම උදෙසා 2016/2017 කාලයේදී “නිරෝගී” නාමයෙන් පළමු වරට නිර්මාණය වූ මෙම පාවහන් මහජනතාවට හඳුන්වාදීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය හා ඩී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගම එක්ව නිරෝගී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇති කරගත් අවබෝධතා ගිවිසුම තවත් ශක්තිමත් කරමින් දෙපාර්ශ්වය එක්ව,පසුගියදා මෙලෙස නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.

Beta සන්නාමයෙන් වසර 2 ක් වැනි ඉතාමත් කෙටිකාලයකදී පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ශ්‍රීලංකාවේ ප‍්‍රමුඛතම දියවැඩියා සහන පාවහන් නිෂ්පාදකයා බවට පත්වන්නට ඩී සැම්සන් ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගම සමත්ව සිටියි.

Visits: 54