වෝල්ස්ට්‍රීට්හි සුප්‍රසිද්ධ Charging Bull ප්‍රතිමාවේ නිර්මාණකරු මිය යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෝල්ස්ට්‍රීට්හි නිව්යෝක් කොටස් වෙළෙඳ පොළ ඉදිරිපිට පිහිටුවා ඇති සුප්‍රසිද්ධ Charging Bull ප්‍රතිමාවේ නිර්මාණකරුවා වන ඉතාලි ජාතික ආර්ටුරෝ ඩි මොඩිකා පසුගියදා අභාවප්‍රාප්ත වී ඇතැයි ඉතාලි බලධාරීන් පවසයි.

මිය යන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය. ඉතාලියේ සිසිලි පළාතේ විටෝරියාහි පිහිටි සිය නිවසේදී ඔහු මෙලෙස අවසන් හුස්ම හෙලා තිබේ. ආර්ටුරෝ කාලයක් තිස්සේම පිළිකා රෝගයෙන් පීඩා විඳි බවත් පැවසෙයි.

නිව්යෝර්ක් නුවර සුප්‍රසිද්ධ ප්‍රතිමාවක් වූ මෙම Charging Bull ප්‍රතිමාව ලෝකඩ යොදා ගනිමින් නිමවා ඇත. එහි බර ටොන් 3.5ක පමණ වෙයි. 1987 වසරේදී සිදු වූ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීම අවස්ථාවේදී එක්සත් ජනපද ආර්ථිකය ඊට එරෙහිව නැගී සිටි ආකාරය මින් නිරූපණය වන බව ඔහු පවසා තිබේ. මේ නිර්මාණය සඳහා අර්ටුරෝ වෙත එවක මුදලින් එක්සත් ජනපද ඩොලර් 35,000ක් පමණ වැය වී තිබේ.

1989 වසරේ දෙසැම්බර් 16 වැනිදා රාත්‍රියේදී ඔහු නිව්යෝක් නුවර මූල්‍යමය දිස්ත්‍රික්කයේ බලධාරීන්ගේ අනුදැනුමකින් තොරව මෙම Charging Bull ප්‍රතිමාව එහි ස්ථාපිත කර ඇත. එහෙත් පොලිසිය විසින් එය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. කෙසේ වෙතත් නිව්යෝර්ක් වැසියන්ගෙන් එල්ල වූ විරෝධයත් සමගින්ම මෙම ගවයාගේ ප්‍රතිමාව යළිත් අද පවතින ස්ථානයේ පිහිටුවා තිබේ.

ඒ අනුව වසර 40කට වඩා වැඩි කාලයක් මෙම ප්‍රතිමාව එම ස්ථානයේ පිහිටා තිබේ. එය අද නිව්යෝර්ක් නුවරට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන්ම නැරඹීම සඳහා පැමිණෙන සැමරුමක් බවටත් පත්ව ඇත.

ආර්ටුරෝ ඩි මොඩිකා සිය ජීවිතයේ අවසන් කාලයේදී සිසිලි නුවර පිහිටුවීම සඳහා අශ්වයන් දෙදෙනෙකුගේ ප්‍රතිමාවක් නිර්මාණය සඳහා දායකත්වය ලබා දෙමින් සිටි බවත් පැවසෙයි. එහි පිහිටි ගංගාවේ ඉවුරේ පිහිටුවීමට සැලසුම් කර තිබූ මෙම අශ්වයන්ගේ ප්‍රතිමා අඩි 132ක් පමණ උසින් යුක්ත බව සඳහන් වෙයි.

ආර්ටුරෝ ඩි මොඩිකාගේ මරණය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන හෙට දිනය සිසිලි නගරය තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද එහි බලධාරීන් පියවර ගෙන ඇත.

Visits: 224