පෞද්ගලික සමාගම් තුළ ලැයිස්තුගතවීම පිළිබඳව උනන්දු කරවීමට SEC වැඩමුළුවක් පවත්වයි

කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගතවීම සම්බන්දයෙන් මෙරට පෞද්ගලික සමාගම් තුළ උනන්දුව ඇති කිරීමේ අරමුණින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පසුගියදා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වූ බව සඳහන් කරයි.

ඒ අනුව කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත වීමේ හැකියාවක් සහිත බවට හඳුනාගෙන  ඇති සමාගම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරීන් වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත් වී තිබේ.

“සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සෑම විටම මෙම ප්‍රාග්ධන වෙළෙඳ පොළෙහි කොටස්කරුවන් සමගින් අදහස් විමසමින් වෙළෙඳ පොළ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි පියවර මොනවාද යන්න පිළිබඳව සොයා බලනවා. ඒ වගේම එම සමාගම් වෙත තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගැනීම සඳහා වඩාත් සුදුසු ස්ථානයක් බවටත් මෙම ප්‍රාග්ධන වෙළෙඳ පොළ පත්කරීම අරමුණයි.” කොමිෂන් සභාව පවසයි.

විශේෂයෙන්ම ආසන්න වසර කිහිපයේදී ඉතාමත් සීමිත සමාගම් කිහිපයක් පමණක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වී තිබෙන බවත් වෙළෙඳ පොළෙහි ප්‍රමාණවත් තරම් නොවන ද්‍රවශීලතාවට සහ එය සාපේක්ෂව කුඩා වෙළෙඳපොළක් බවට පත්වීමටත් මෙය හේතු වී තිබේ.

ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙ වෙත සිය ලැයිස්තුගතවීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදු කිරීමට මෙන්ම තවදුරටත් ලැයිස්තුගතවීම් ප්‍රවර්ධනය සඳහා ඒ පිළිබඳවන රෙගුලාසි ලිහිල් කිරීමක් ඇතුළත් ලැයිස්තුගත සමාගම් වෙනුවෙන් වන නව ක්‍රියාරාමුවක් අනුමත කිරීමටත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු යොදා ඇති බවත් පවසයි.

“මෙම හමුවේ අරමුණ වුණේ දැනටමත් ලැයිස්තුගත නොවී ඇති සමාගම් වෙත සිය ලැයිස්තුගතවීම් හරහා ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳව දැනුවත් කිරීමටයි. ඒ වගේම 2021 සඳහා වන රජයේ අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර ඇති 2021 දෙසැම්බර් 31 වැනිදාට පෙර ලැයිස්තුගත වන සමාගම් වෙත ලබා දෙන බදු සහන සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමයි.” සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙහිදී ආරම්භක දේශනය සිදු කර ඇති සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා, විශේෂයෙන්ම අද පවතින ධනාත්මක වෙළෙඳපොළ තත්ත්වය තුළදී ලැයිස්තුගතවීම හරහා ලැබෙන වාසි පිළිබඳව සමාගම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරන් දැනුවත් කර තිබේ.

එසේම මීට පෙර පැවැති ආකාරයෙන් ලැයිස්තුගත වීමේ ක්‍රියාවලිය බොහෝ අසීරු හෝ වියදම් සහගත කටයුත්තක් නොවන බවත් ඔහු සඳහන් කර ඇත. ඒ අනුව එම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල වෙත මේ පණිවුඩය රැගෙන යන ලෙසත් සභාපතිවරයා මෙම නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

මෙම අවස්ථාව වෙත සහභාගි වී ඇති කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා සහ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මනිල් ජයසිංහ සහ නරේෂ් අබේසේකර යන මහත්වරුන්ද සිය ඉදිරිපත් කිරීම් සිදු කර ඇත.

එහිදී විජයවර්ධන මහතා සමාගමක් ලැයිස්ගුතවීම සඳහා තිබිය යුතු මූලික අවශ්‍යා සහ එහි පියවර පිළිබඳව පවසා ඇත. එසේම ජයසිංහ මහතා විසින් සමාගම් ලැයිස්තුගතවීම එම සමාගම්වල ප්‍රාග්ධනය රැස්කරගැනීම සඳහා කොතරම් ආකර්ෂණීය විකල්පයක් බවට පත් වන්නේද යන්න පිළීබඳව දැනුවත් කර ඇත.

විශේෂයෙන්ම මෙම ක්‍රමවේදය හරහා ප්‍රාග්ධනය රැස් කරගැනීම සමාගම් විසින් ප්‍රාග්ධනය රැස් කරගැනීමට යොදා ගන්නා වෙනත් ක්‍රමවේදවවලට වඩා වැඩි වාසිසහගත තත්ත්වයක් පවතින බවත් ඔහු පෙන්වා දී තබේ.

මෙහිදී අදහස් දක්වා ඇති නරේෂ් අබේසේකර මහතා අනාගතයේදී සිය ප්‍රාග්ධන රැස් කරගැනීම් සඳහා භාවිතා කළ හැකි ඩිජිටල් වේදිකාව පිළිබඳව මෙම සමාගම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති අතර, කොළඹ කොටස් හුවමාරුවෙහි ජංගම දුරකතන ඇප් වැඩසටහන හරහා එය තවත් වේගවත් වන බවත් පවසා ඇත.

මෙම දැනුවත් කිරීම අවසානයේදී ඊට සහභාගි වී සිටි සමාගම්වල ප්‍රධාන මූල්‍ය නිලධාරීන් වෙත මෙම පිරිසගෙන් ප්‍රශ්න විමසීමේ අවස්ථාවක්ද ලබා දුන් බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.

එසේම මෙම දැනුවත් කිරීමේ වැඩසටහින් අනතුරුව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ලැයිස්තුගත වීමේ හැකියාවක් පවතින සමාගම්වල සභාපතිවරුන්/ප්‍රධාන විධායක නිලධාරීන් වෙනුවෙන්ද වැඩසටහනක් සංවිධානය කිරීම සැලසුම් කර ඇතැයිද සඳහන් කර සිටියි.

Visits: 408