NDB බැංකුවෙන් කොටසකට රු. 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව (NDB PLC) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් නිවේදනය කර සිටියි.

ඒ අනුව දැනට බැංකුව මගින් නිකුත් කර ඇති සෑම කොටසක් සඳහාම රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමට පසුගියදා රැස් වූ එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන අතර, එය පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසත් බැංකුව සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවීම සිදුකරන දිනය ලෙස මාර්තු 23 වැනිදා සඳහන් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD date) ලෙස 2021 මාර්තු 02 වැනිදා නම් කෙරී ඇත. මේ අතර අදාළ ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොමැති බවත් බැංකුව වැඩිදුරටත් පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවට පත්වන විට නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 89ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේ සටහන් වූ සමාගමේ කොටසක වටිනාකම මෙන් ශත 40ක එනම් 0.45% ක ඉහළ යාමකි.

Visits: 261