මහ බැංකුවේ LANKAQR දිරිගැන්වීමේ තවත් වැඩසටහනක් සමඟින් HNB මහරගමට

ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝගාමී ‘රට පුරාම LankaQR’ වැඩසටහන සඳහා සිය සහයෝගය පුළුල් කරමින් මහරගම ප‍්‍රදේශයේ වෙළෙඳුන් අතර එම වැඩසටහන ප‍්‍රචලිත කිරීම සඳහා ප‍්‍රවර්ධනයක් පසුගියදා දියත් කර තිබේ.

මහරගම HNB පාරිභෝගික ඒකකයේදී පවත්වන ලද මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා සහභාගී වූ අතර HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB හි ප‍්‍රධාන තාක්ෂණික හා ඩිජිටල් නිලධාරී, රොහාන් බුල්ජන්ස්, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී – නිරිත, මහින්ද සෙනෙවිරත්න සහ මහරගම HNB පාරිභෝගික ඒකකයේ කළමනාකාර, කුමුදු ලියනගේ යන මහත්වරුන් ඇතුළු CBSL හා HNB හි ඉහළ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ ඇත.

මෙහිදී අදහස් දැක්වූ මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා පැවසුවේ ‘‘කලාපයේ අනෙකුත් ආර්ථිකයන් සමඟ සන්සන්ඳනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබලගැන්විය යුතු අංශ බොහොමයක් තිබෙනවා. කෙසේවෙතත් කොවිඞ්-19 වසංගතයේ ආරම්භයේ සිට ඩිජිටල් ගෙවීමේ විසඳුම්වල පෙර නොවූ විරූ වර්ධනයක් අපට දකින්නට ලැබුණා.’’ යනුවෙනි.

‘’LANKAQR හරහා ගෙවීම් කටයුතු සඳහා පොදු ප‍්‍රමිතියක් හඳුන්වා දීම සියලූම ශ්‍රී ලාංකිකයින්ට මුදල් රහිත ගෙවීම් සිදු කිරීම සඳහා ප‍්‍රවේශය ලබා දෙන පැහැදිලි සලකුණක් ලෙස හැඳින්වීමට පුළුවන්. එබැවින් මෙම ජාතික කර්තව්‍යයට පූර්ණ සහයෝගය ලබා දීම පිළිබඳව අප HNB හට කෘතඥ වනවා. එමෙන්ම වෙළෙඳුන් හා ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවකට QR කේත පදනම් කරගත් ගෙවීම් ඔවුන්ගේ ප‍්‍රියතම ගනුදෙනු ක‍්‍රමවේදයක් ලෙස භාවිතා කිරීමට ඔවුන්ව දිරිමත් කිරීම සඳහා HNB සහ සමස්ත බැංකු ක්ෂේත‍්‍රය සමඟ ඉදිරියේදී අප කටයතු කිරීමට බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙම උත්සවයට සමගාමීව මහරගම ප‍්‍රදේශයේ වෙළෙඳුන් කිහිප දෙනෙකුට ගනුදෙනු කටයුතු කිරීම සඳහා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග මහතා විසින් LANKAQR කේත ලබා දෙන ලදී. එම කලාපයේ HNB පාරිභෝගික ඒකක කණ්ඩායම් ද HNB SOLO තුලින් සිදු කළ හැකි මුදල් රහිත හා කායික සබඳතාවලින් තොර ගෙවීම් කිරීමේ විකල්ප පිළිබඳව ප‍්‍රදේශයේ වෙළෙඳ මහතුන් දැනුවත් කළහ.

HNB හි ප‍්‍රධානතම ඩිජිටල් ගෙවීම් විසඳුම වන SOLO 2019 වසරේදී හදුන්වා දුන් අතර එමගින් දැරිය හැකි, පහසු මිලකට හා පහසුවෙන් භාවිතා කළ හැකි QR කේත හරහා ඩිජිටල් ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව ලබා දෙයි. එමෙන්ම එය දැනට වෙළෙඳපොළේ ඇති අනෙකුත් ඩිජිටල් ගෙවීමේ විසඳුම් සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලාභදායී විකල්පයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

HNB SOLO, දැනටමත් LANKAQR වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත QR කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්‍යාප්ත කිරීමේ ප‍්‍රයත්නයට අනෙකුත් බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වී සිටී.

Visits: 34