ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට සාකච්ඡා

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දීර්ඝ කාලයක් පුරා ගැසට් කර තිබූ නමුත් ක්‍රියාකාරී මට්ටමක නොපැවති ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ අදාළ අංශ අතර හමුවක් ඊයේ (18) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණු බව එම අමාත්‍යාංශය පවසයි.

දේශීය රෙදි නිෂ්පාදකයින්ට සහ ඒ ආශ්‍රිත නිර්මාණකරුවන්ට අවශ්‍ය නූල් වර්ග, ඩයි වර්ග සහ වෙනත් අමුද්‍රව්‍ය දේශියව නිෂ්පාදනය කිරීම සහ ආනයනය කළ යුතු අමඅද්‍රව්‍ය ආනයනය කොට සාධාරණ මිල ගණන් යටතේ අලෙවි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම මෙම සමාගම නැවත පිහිටුවීමේ අරමුණ වේ.

ලංකා සළුසල ආයතනය යටතේ මෙම සමාගම පිහිටුවීම මගින් එයට රාජ්‍ය බැදීමක් ඇති කිරීම ද මෙහිදී තීරණය වී ඇත.

දේශීය රෙදි නිෂ්පාදකයා මේ වනවිට මුහුණදී ඇති ඩයි වර්ග, නූල් වර්ග ඇතුළු අමුද්‍රව්‍ය හිඟකම සහ මිල ඉහළ යෑම පිළිබදවත් මෙහිදී සාකච්ජා කෙරුණු අතර ලංකා සළුසල ආයතනය හරහා එම අමුද්‍රව්‍ය ගෙන්වා කර්මාන්තකරුවන්ට ලබාදීමට අවශ්‍ය පසුබිම හැකි ඉක්මනින් සලසන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්. සුනේත්‍රා ගුණවර්ධන, ලංකා සළුසල ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී විය.

Visits: 67