ශ්‍රී ලංකාව සමගින් ඍජු ගුවන් ගමන් අරඹන ගුවන් සමාගම් 5 දක්වා ඉහළට

සංචාරකයන් සඳහා රට යළිත් විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා නව ගුවන් සමාගම් 05ක් ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ෆ්ලයි ඩුබායි, එයා ඇරේබියා, සලාම් එයාර්, ජසීරා, ගල්ෆ් එයා යන ගුවන් සමාගම් මෙලෙස ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉන් එයා ඇරෙබියා, ෆලයි ඩුබායි හා සලාම් එයාර් යන ගුවන් සමාගම් 03 දැනටමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති රැස්වීමකදී මේ බව අනාවරණය වී ඇත.

මේ අතර සෙසු ගුවන් සමාගම්ද ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට දින යොදා ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ. කටුනායක මෙන්ම මත්තල ගුවන්තොටුපල කේන්ද්‍ර කර ගනිමින් මෙම ගුවන් ගමන් ආරම්භ කරන බව ඇමතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

කටුනායක හා මත්තල ගුවන්තොටුපල මඟින් සංචාරකයන් පැමිණීමේදී ඔවුන්ට කිසිදු බාධාවක් ඇති නොවන පරිදි අදාළ වැඩපිලිවෙල සකස් කර ඇතැයිද කටුනායක ගුවන්තොටුපල බලධාරීහූ මෙහිදී පවසා තිබේ.

ගුවන්තොටුප‍ලේදී සංචාරකයන් හා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වීම වැලැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යළි යළිත් අවධානය යොමු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

සංචාරකයන්ට රට විවෘත කෙරුණු ජනවාරි 21 දින සිට ගතවූ කාලය තුල සංචාරකයන් 3,820ක් දිවයිනට පැ‍මිණ තිබෙන බවද මෙහිදී අනාවරණය විය. ඒ අතරින් වැඩිම පිරිස වන 1,374 යුක්රේනයේ සිට පැමිණ තිබේ. එසේම කසකස්ථානයේ සංචාරකයන් 526ක් ද අසල්වැසි ඉන්දියාවෙන් 443ක්ද පැමිණ ඇත.

සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකාව ආකර්ශණීය සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව කොවිඩ් සුරක්ෂිත රටක් යන්නද ඉස්මතු වන පරිදි මෙම ප්‍රවර්ධන වැඩපිලිවෙල සකස් කරන ලෙසද ඇමතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි යන මහත්වරුද සහභාගී වී ඇත.

Visits: 134