නෙස්ලේ ලංකා පළමු අතරමැදි සහ අවසන් ලාභාංශ ගෙවීම් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ආහාර, පානවර්ග සහ දුම්කොළ කාණ්ඩය යටතේ ලැයිස්තුගතව ඇති සමාගමක් වන නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා පළමු අතරමැදි සහ අවසන් ලාභාංශ ගෙවීම් සිදු කරන බව අද දිනයේදී නිවේදනයක් මගින් දැනුම් දී සිටියි.

2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මෙලෙස ලාභාංශ ගෙවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තීරණය කර ඇත.

ඒ අනුව පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස නෙස්ලේ ලංකා පීඑල්සීහි එක් කොටසක් සඳහා රුපියල් 35 බැගින් ගෙවීමට යෝජනා වී ඇත. එම ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 මාර්තු 23 වැනිදා නම් කෙරී ඇති අතර, ලාභාංශ නොගෙවන දිනය ලෙස මාර්තු 02 වැනිදා නම් කෙරී තිබේ.

මෙහිදී පළමු අතරමැදි ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, අවසන් ලාභාංශ ගෙවීම ලෙස එක් කොටසකට රුපියල් 20 බැගින් ලබා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා කර තිබේ. එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 ජූලි 02 වැනිදා නම් කෙරී ඇත. එසේම ලාභාංශ නොගෙවන දිනය ලෙස 2021 ජූනි 11 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර මෙම අවසන් ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය බවත්, එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ජූනි 10 වැනිදා පැවැත්වෙන බවත් නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Visits: 384