සිලෝන් ටොබැකෝ කොටසකට රුපියල් 11.35 බැගින් ලාභාංශ දීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී (CTC) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ පිළිබඳව වන නිවේදනය එම සමාගම මගින් ඊයේ දිනයේ සිදු කෙරිණි.

ඒ අනුව දැනට නිකුත් කර ඇති සමාගමේ සෑම එක් කොටසක් සඳහාම රුපියල් 11.35 බැගින් ලාභාංශ ගෙවීමට සමාගම තීරණය කර ඇත. එහිදී 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බවත් එය අවසන් ලාභාංශ ගෙවීම බවත් සමාගම පවසයි.

ලබන ජූනි 17 වැනිදා මෙම ලාභාංශ ගෙවීම සිදු කරන දිනය ලෙස සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් වෙත දැනුම් දී සිටියි. එහිදී ලාභාංශ රහිත දිනය 2021 මැයි 28 වැනිදා වන බවත් සමාගම පවසයි.

මේ අතර අදාළ ලාභාංශ ගෙවීම පිළිබඳව කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය බවද සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම පවසයි. ඒ අනුව 2021 මැයි 25 වැනිදා පැවැත්වෙන සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ඊට අනුමැතිය ලබා ගැනීමට සමාගම බලාපොරොත්තුව සිටියි.

ඊයේ දිනයේ ගනුදෙනු නිමා වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි දෙවැනියට වැඩිම වටිනාම සමාගම බවට පත්ව තිබුණේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමයි. එහිදී සමාගමේ එක් කොටසක් රුපියල් 1,085ක මිලකට  අලෙවි විය. අද දිනය නිමා වනවිට සමාගමේ කොටසක වටිනාකම රුපියල් 1,099.75ක් දක්වා රුපියල් 14.75කින් එනම් 1.36%කින් ඉහළ නැග තිබුණි.

Visits: 205