Black Friday Sale නිසා සොෆ්ට්ලොජික් රීටේල් ගොඩලු

2020 වසරේ නොවැම්බර් මාසයේ යෙදුණු බ්ලැක් ෆ්‍රයිඩේ අලෙවි ප්‍රවර්ධනය (Black Friday Sale) හරහා සිය සිල්ලර වෙළෙඳ අංශය (සොෆ්ට්ලොජික් රීටේල්) වෙත කැපී පෙනෙන වාසි අත් වූ බව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව සහ මුල් මාස 9 වෙනුවෙන් සමාගම ඉදිරිපත් කළ අතරමැදි මූල්‍ය වාර්තාව තුළ සටහනක් තබමින් සභාපතිවරයා මේ බව පවසා ඇත.

“සොෆ්ට්ලොජික් බ්ලැක් ෆ්‍රයිඩේ අලෙවිය අද වනවිට වසරේ දැවැන්ත සාප්පු අංගයක් බවට පත්ව තිබෙනවා. මේ වසරේදී අන්තර්ජාලය හරහා වගේම අලෙවිසැල් හරහාත් සිදු වුණු මෙම සොෆ්ට්ලොජික් බ්ලැක් ෆ්‍රයිඩේ අලෙවියෙන් අපගේ විලාසිතා ජාලය, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග, සුපිරි වෙළෙඳ සැල්, ආපනශාලා වගේම ගෘහභාණ්ඩ අංශය යන සොෆ්ට්ලොජික් රීටේල් තුළතදී රුපියල් මිලියන 800කට අධික ආදායමක් උපයා ගන්න හැකිවුණා.” යනුවෙන්ද සභාපතිවරයා මෙහිදී පවසා ඇත.

ඒ අනුව COVID-19 වසංගත නිසා  පැනවුණු සීමා කිරීම් නිසා නිවාඩු සමයන්හි සිල්ලර භාණ්ඩ අලෙවිය මඟහැරවීමට මෙම බ්ලැක් ෆ්‍රයිඩේ අලෙවිය හරහා ලැබුනු ආදායම් හේතු වූ බවත් සභාපතිවරයා පවසයි.

එහිදී විශේෂයෙන්ම COVID-19 වසංගතයත් සමගින්ම බිහි වූ තත්ත්වයත් නිසා රට තුළ ස්මාට් දුරකතන ඉල්ලුමේ වර්ධනයක් පෙන්නුම් කළ බවත්, එහිදී සැම්සුන්ග් සහ නොකියා යන උපාංග වෙත වැඩි අලෙවියක් තිබූ බවත් සභාපතිවරයා මෙහිදී පවසා ඇත.

Visits: 146