2020 පළමු මාස නවයේදී සන්ෂයින් හෝල්ඩිංග්ස් වෙත බිලියන 1.9 ක බදු පසු ලාභයක්

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී (SUN.)  2020/21 මූල්‍ය වර්ෂයේ පළමු මාස ​​නවය තුළදී රු. බිලියන 17.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි. එය 2019/20 මූල්‍ය වසරේදී වාර්තා වූ සමූහයේ ඒකාබද්ධ ආදායම මෙන් 10% ක වර්ධනයකි.

එසේම සමූහයේ බදු ගෙවීමෙන් පසු සමූහ ලාභය (PAT) රුපියල් බිලියන 1.9ක් බවට පත්ව ඇති අතර, එය පසුගිය මූල්‍ය වසරට සාපේක්ෂව 11% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මේ අතර, සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සහ හෙල්ත්ගාර්ඩ් ෆාමසි වලින් සමන්විත සිය සෞඛ්‍ය සේවා ව්‍යාපාරය අක්බාර් බ්‍රදර්ස්හි සෞඛ්‍ය සේවා අංශය සමඟ ඒකාබද්ධ කරන බවද පසුගිය වසරේදී නිවේදනය කෙරුණු අතර, එය අක්බාර් ෆාර්මසූටිකල්ස්, ලීනා මැනියුෆැක්චරින් සහ ලීනා ස්පිරෝ වලින් සමන්විත වේ.

පසුගිය මාසයේදී අවසන් කරන ලද මෙම උපායමාර්ගික ඒකාබද්ධ කිරීමත් සමගින් සන්ෂයින් හෙල්ත්කෙයාර් දැන් සෞඛ්‍ය සේවා සැපයුම් දාමයේ පර්යේෂණ හා සංවර්ධන, නිෂ්පාදන, ආනයන, බෙදාහැරීම් සහ සිල්ලර යන අංශ පහේම ක්‍රියාත්මක වන බවත් පවසයි.

එසේම සිය පාරිභෝගික භාණ්ඩ අංශය තේ වලින් ඔබ්බට තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා එම අංශය මගින් 2020 සැප්තැම්බර් මාසයේදී ඩේන්ටි ලිමිටඩ් හි 100% කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමත් සිදු විය. ඩේන්ටි යනු ශ්‍රී ලංකාවේ රසකැවිලි හා ටොෆි අංශයේ වෙළඳපල ප්‍රමුඛයා වන අතර එය 40% ක වෙළඳපළ කොටසක්ද වෙයි.

මෙහිදී 2020/21 මූල්‍ය වර්ෂයේදී සෞඛ්‍ය ආදායම, පාරිභෝගික භාණ්ඩ හා කෘෂි ව්‍යාපාර යන අංශ වලින් ප්‍රධාන වශයෙන් ඇතුළත් වන කණ්ඩායම් ආදායම පිළිවෙලින් 52.2%, 28.4% සහ 17.1% ක් වී තිබේ.

ඒ අතරින් සෞඛ්‍ය සේවා අංශය පසුගිය වසරට සාපේක්ෂව 11% ක වර්ධනයක් වාර්තා කළ අතර කෘෂි අංශයේ ආදායම 14.8% කින් ඉහළ ගොස් තිබේ. එසේම පාරිභෝගික භාණ්ඩ අංශය ආදායමේ 17.3% ක වර්ධනයක් වාර්තා කර ඇත්තේ ප්‍රධානවම පසුගිය මාස හතර තුළ ඩේන්ටි ලිමිටඩ් හි කාර්යසාධනය එකතු කිරීම හේතුවෙනි.

මේ අතර, 2020 පළමු මස 9 සඳහා දළ ලාභ ආන්තිකය 33.3% ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව පදනම් අංක 247 ක වර්ධනයකි. එසේම දළ ලාභයද පසුගිය වසරට සාපේක්ෂව මිලියන 918 කින් එනම් 18.8% කින් ඉහළ ගොස් ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය හා කෘෂි ව්‍යාපාර අංශවල දායකත්වය හිමිව ඇත. පොලී සහ බදු වලට පෙර සමූහ ඉපැයීම් (EBIT) රු. මිලියන 2,906 ක් වූ අතර එය 13.7% ක වර්ධනයකි.

2020 වසෙර් මුල් මාස නවය තුළදී පෙන්නුම් කළ මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ කළමණාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි මහතා, “අපගේ ඉහළ සහ පහළ කාර්ය සාධනය මගින් අපගේ පාරිභෝගිකයින්ට හොඳම නිෂ්පාදන හා අසමසම සේවාවක් සහ පහසුවක් ලබා දීමට ඇති හැකියාව හා කැපවීම පිළිබිඹු වෙනවා. මෙම කාලය තුළ ඔරොත්තු දෙන ආදායම් වර්ධනයක් වාර්තා කරමින්, දැඩි ව්‍යාපාරික තත්වයන් මධ්‍යයේ ප්‍රධාන ව්‍යාපාරික අංශවලට වේගවත් බවක් ලබා ගැනීමට හැකි වී තිබේ.”

සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ ආදායම රුපියල් බිලියන  9.1 ක් බවට පත්ව ඇත. එහිදී වෛද්‍ය උපකරණ අංශවල ප්‍රබල ක්‍රියාකාරීත්වය ඊට හේතු වී තිබේ. 

එසේම පාරිභෝගික භාණ්ඩ අංශයේ ආදායම 17.3% කින් ඉහළ ගොස් රු. බිලියන 4.9 ක් බවට පත්ව තිබේ. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රසකැවිලි උප අංශය එකතු කිරීමයි. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම අංශයේ PAT අගය 3.3% කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

මීට අමතරව කෘෂි ව්‍යාපාර අංශයේ ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මාස 9ක කාලය තුළ 14.8% කින් ඉහළ ගොස් තිබේ. බලශක්ති අංශයේ ආදායමද රු. මිලියන 255 සිට රු. මිලියන 348 ක් දක්වා ඉහළ ගොස් ඇත. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන කළමනාකාර අධ්‍යක්ෂවරයා, “සමස්ත ලාභදායිතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපගේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, අපගේ වර්තමාන ව්‍යාපාරික අංශ තුළ වර්ධනය පුළුල් කිරීමට ඇති අවස්ථාවන් ගවේෂණය කිරීමටත් අපි කටයුතු කරනවා. මනා උපායමාර්ග තුළින් ගුණාත්මකභාවය සහ අභ්‍යන්තර කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි අපගේ අඛණ්ඩ අවධානය යොමු කිරීම ඉදිරි මාස කිහිපය තුළ සමූහයට ශක්තිමත් ප්‍රතිඵල ලබා දෙනු ඇති.” යනුවෙන් පවසයි.

Visits: 214