විශාල සමාගම් අගයන් පහළ වැටීමත් සමග දර්ශක අගයන් දෙකම -4.00%ටත් වඩා අඩු වෙයි

අද (පෙබරවාරි 16) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනු අතරතුරදී දර්ශක අගයන් දෙකම -4.00%කට වඩා අඩුවෙන් පහළ වැටුණි. විශේෂයෙන්ම විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් පෙන්නුම් කළ බලාපොරොත්තු නොවූ තරමේ පහළ කාර්යසාධනය මෙන්ම කොවිඩ්-19 වසංගතය පිළිබඳ කනස්සලු සහගත තත්ත්වය ඊට මූලිකවම බලපෑ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම ආයෝජකයන් අතර පැවැති කලබලකාරී  කොටස් අලෙවියද මෙහිදී දරුණු ලෙස බලපා ඇත.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,554.79ත් ඒකක 7,891.27 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,580.91 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 15) දිනයට සාපේක්ෂව ඒකක 326.36 ක් එනම් -4.13%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව සම්පත් බැංකුව, සණස සංවර්ධන බැංකුව සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් මගින් සිදු වූ ගනුදෙනුව සමස්ත පිරිවැටුමෙන් 3.8%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.  

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 21ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 186ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ නෙස්ලේ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී NEST (+3.69), ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී JINS (+0.57), රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+0.47), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+0.32), මල්වත්තවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී MAL (+0.19), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-86.68), වැලිබල් වන් පීඑල්සී VONE (-20.13), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-19.72), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-16.54), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-10.46) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,032.21 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 15) දිනයට සාපේක්ෂව ඒකක 131.38 ක එනම් -4.15%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.28ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 15දා) වාර්තා කළ රුපියල් බිලියන 6.01ට සාපේක්ෂව 29% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.32ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.96%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 162.86ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 371.83ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 208.96කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 11.62ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 19.2කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 176.4ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,246ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 778ක සහ රුපියල් මිලියන 771 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 396