මෙගාවොට් 300ක කෙරවලපිටිය එල් එන්ජී බලාගාරයට PUCSL අනුමැතිය

මෙගා වොට් 300 එල් එන් ජී (ද්‍රව ස්වාභාවික වායු) බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි.

පසුගිය 13 වැනි දින රැස්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සාමාජික මණ්ඩලය විසින් මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අදාල අනුමැතිය පිරිනමා තිබේ.

කොමිෂන් සභාව අනුමත කල මෙම විදුලි ගිවිසුම ලංකා විදුලිබල මණ්ඩලය හා ලක්දනවි සමාගම අතර ක්‍රියාත්මක වේ. මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම විදුලි පාරිභෝගිකයාට, ලංකා විදුලිබල මණ්ඩලයට හා රජයට වඩා හිතකර කොන්දේසි සහිතව ක්‍රියාත්මක වන බව සභාපතිවරයා  වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පෙර අනුමැතිය සදහා ඉදිරිපත්කර තිබු විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමෙහි ඇතුළත්ව නොතිබු වාසිදායක කොන්දේසි 18ක් ඊට ඇතුළත් කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළ අතර ලංකා විදුලිබල මණ්ඩලය හා ලක්දනවි සමාගම එම හිතකර කොන්දේසි ඇතුළත් කිරීමට එකග විය.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කල මෙගා වොට් 300 එල් එන් ජී විදුලි බලාගාර ගිවිසුම විදුලි පාරිභෝගිකයාට, රජයට හා ලංකා විදුලි බල මණ්ඩලයට වඩා වාසිදායක ගිවිසුමකි. මෙම ගිවිසුම යටතේ වසර 20ක කාලයක් විදුලිය මිලදී ගැනීමට සැළසුම් කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම බලාගාරයෙන් සැපයෙන විදුලිය ඒකකයක මිල රුපියල් 14.98 කි. ඩීසල් හා එල් එන් ජී යන ඉන්ධන වර්ග දෙකම භාවිතයෙන් විදුලිය ජනනය කල හැකි අතර එල් එන් ජී හෙවත් ස්වභාවික වායු සැපයීම ආරම්භ වන තුරු මුල් අදියරේ ජනන කටයුතු ඩීසල් ඉන්ධන භාවිතයෙන් සිදුකිරීමට නියමිත ය.

ඉදිරි විදුලි ඉල්ලුම සපුරාලීම සදහා මෙගා 300ක මෙම එල් එන් ජී බලාගාරය කඩිනමින් ඉදිකිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

Visits: 215