EDB වෙතින් 2021 දී ඩොලර් බිලියන 16 ක අපනයන ආදායම් පුරෝකතනයක්

2021 වසරේදී මෙරට භාණ්ඩ හා සේවා අපනයන ආදායමේ පුරෝකතනය එක්සත් ජනපද ඩොලර් බිලියන 15.68ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. එහිදී ඩොලර් බිලියන 12ක ආදායමක් භාණ්ඩ අපනයනයෙන්ද, ඩොලර් බිලියන 3.58ක ආදායමක් සේවා අපනයනයෙන්ද උපයා ගැනීම බලාපොරොත්තුව වී තිබේ.

ඒ අනුව එම මණ්ඩලට අනුව මෙම සමස්ත අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 5.4ක් ඇගලුම් අපනයනයෙන්ද, ඩොලර් බිලියන 1.47ක් තේ අපනයනයෙන්ද, ඩොලර් මිලියන 998ක් රබර් අපනයනයෙන් සහ ඩොලර් මිලියන 809ක් පොල් අපනයනයෙන්ද උපයා ගැනීම අරමුණ වී ඇතැයි එහි සභාපති සුරේෂ් ද මෙල් මහතා පවසයි.

අද දිනයේදී පළ කෙරුණු ඩේලිඑෆ්ටී පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සභාපතිවරයා මේ කරුණු අනාවරණය කර තිබේ.

එසේම අනෙකුත් අංශ වන ආහාර සහ පාන වර්ග හරහා ඩොලර් මිලියන 427ක්, කුලුබඩු හරහා ඩොලර් මිලියන 415ක්, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික උපාංග හරහා ඩොලර් බිලියන 398ක් ද අපනයන සංවර්ධන මණ්ඩලය බලාපොරොත්තු වෙයි. මීට අමතරව මුහුදු ආහාර අපනයනයෙන් ඇස්තමේන්තුගත ආදායම ඩොලර් මිලියන 229කි. දියමන්ති සහ මැණික් අපනයනයෙන් තවත් ඩොලර් මිලියන 173ක් මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර ඇති දත්ත අනුව  2020 වසරේදී මෙරට භාණ්ඩ අපනයනයේ අදායම ඩොලර් බිලියන 10ක් ලෙස සටහන්ව ඇත. එය 2019 වසරේදී වාර්තා කළ අපනයන ආදායම මෙන් 16%ක අඩුවීමකි.

එහිදී ඇගලුම් අපනයනය ඩොලර් බිලියන 4ක් වූ අතර එය 2019 වසරට සාපේක්ෂව 24%ක අඩුවීමකි. එසේම රබර් අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන 786ක් වූ අතර එය 9%ක අඩුවීමකි එසේම දියමන්ති සහ මැණික් අපනයනය ඩොලර් මිලියන 211ක් බවට පත්ව තිබූ අතර එය 2019 වසරට සාපේක්ෂව 31%ක අඩුවීමකි.

භාණ්ඩ අපනයනයට අමතරව සේවා අපනයනය හරහා 2021 වසරේදී බලාපොරොත්තු වන සමස්ත ආදායමෙන් ඩොලර් බිලියන 2.976ක් තොරතුරු තාක්ෂණය, ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ භාණ්ඩ හැසිරවීම් යනාදී අංශ හරහා අපේක්ෂා කර සිටියි. එය 2019 වසරේදී එම අංශ තුළ සේවා අපනයනය හරහා මෙරට හිමිකරගත් ආදායම වූ ඩොලර් මිලියන 3,888ට සාපේක්ෂව 23.46%ක අඩුවීමකි.

Visits: 199