විදේශ මුදල් සංචිතය සහ COVID-19 ආසාදිතයන් ආයෝජක හැසිරීම් වෙත බලපායි

අද (පෙබරවාරි 15) කොළඹ කොටස් හුවමාරුවේ සිදු වූ ගනුදෙනු අවසානයේදී දර්ශක අගයන් දෙකම පෙර දිනයට සාපේක්ෂව පහළ මට්ටමකට පත් විය. විශේෂයෙන්ම රට තුළ පවතින විදේශ මුදල් සංචිත ප්‍රමාණයේ අඩුවීම සහ COVID-19 ආසාදිතයන්ගේ වර්ධනය ආයෝජක හැසිරීම් වෙත දැඩිව බලපා තිබෙන බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් තවදුරටත් පවතින අඩු පොළී අනුපාත ආයෝජකයන් වෙළෙඳ පොළ තුළ රඳවා තබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන බවද එම සමාගම්වල අදහස වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,901.25ත් ඒකක 8,130.17 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,907.27 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 12) දිනයට සාපේක්ෂව ඒකක 77.73 ක් එනම් -0.97%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ඩයලොග් ආසිආටා සහ සම්පත් බැංකුව යන සමාගම් අතර සිදු වූ ගනුදෙනුව සමස්ත පිරිවැටුමෙන් 5.4%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.  

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 60ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 133ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+17.35), වැලිබල් වන් පීඑල්සී VONE (+10.69), ඩයලොග් ආසිආටා  පීඑල්සී DIAL (+5.61), කොමර්ෂල් බැංකුව පීඑල්සී COMB (+5.53), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+4.94), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-19.46), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-13.15), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-10.73), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-6.43), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-6.0) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,163.59 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 12) දිනයට සාපේක්ෂව ඒකක 16.65 ක එනම් -0.52%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.01ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (පෙබරවාරි 12දා) වාර්තා කළ රුපියල් බිලියන 5.17ට සාපේක්ෂව 16% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.46ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 16.77%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 108.56ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 213.16ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 104.6කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 11.41ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 31.92කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 68.32ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,377ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 56% ක අගයක් ගෙන තිබේ. විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ බැංකු අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 642ක සහ රුපියල් මිලියන 575 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 297