ලංකා ටයිල්ස් සහ ලංකා වෝල්ටයිල්ස් කොටස් අතුරු බෙදීම් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටයිල් සමාගම් දෙකක් වන ලංකා ටයිල්ස් පීඑල්සී සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සිය සාමාන්‍ය කොටස් අතුරු බෙදීමක් සිදු කරමින් නිකුත් කර ඇති සිය කොටස් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා තීරණය කර තිබෙන බව නිවේදනය කරයි.

ඒ අතරින් ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය කොටසකටම අලුතින් කොටස් 5ක් හිමි වන ලෙස 1:5 අනුපාතයට මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බව පවසයි.

ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම දැනට එම සමාගම නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව වන 53,050,410 සාමාන්‍ය කොටස් 265,252,050ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙහිදී සමාගමේ දැනට ප්‍රකාශිත ප්‍රාග්ධනය වන 900,968,000 වෙත මින් කිසිදු බලපෑමක් එල්ල නොවන බවද සමාගම අවධාරණය කරයි.

එසේම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගමත් දැනට නිකුත් කර සාමාන්‍ය කොටසක් සඳහාම අලුතින් කොටස් 5ක් හිමි වන ලෙස 1:5 අනුපාතය යටතේ කොටස් අතුරු බෙදීමක් සඳහා තීරණය කර ඇත.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව වන 54,600,000 මෙම කොටස් අතුරු බෙදීමෙන් අනතුරුව කොටස් 273,000,000 ක් දක්වා  ඉහළ යාමට නියමිතව තිබේ.

ලංකා ටයිල්ස් සහ ලංකා වෝල්ටයිල්ස් යන සමාගම් දෙකම වැලිබල් වන් පීඑල්සී සමූහයේ පරිපාලිත සමාගම් වෙයි. එම සමූහයට අයත් තවත් ටයිල් නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමත් පසුගිය සති අන්තයේදී සිය කොටස් අතුරු බෙදීමක් නිවේදනය කර තිබුණි.

මෙහිදී සමාගම් දෙක මගින්ද නිවේදනය කර ඇති කොටස් අතුරු බෙදීමේ තීරණය සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි එකඟතාව හිමිව ඇති බවත්, ඉදිරියේදී සමාගම් දෙකෙහිම කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය මේ සඳහා ලැබීමට නියමිතව ඇති බවත් සමාගම් දෙකම පවසයි. කොටස් හිමිකරුවන්ගේ අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ඒ පිළිබඳව අනුමැතිය ලබා ගැනීමට සමාගම් බලාපොරොත්තුව සිටියි.

මෙම කොටස් අතුරු බෙදීම් නිවේදනය කිරීමත් සමගින්ම ලංකා ටයිල්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 245.50 දක්වා පෙර දිනයට සාපේක්ෂව රුපියල් 9.75 කින්ද, ලංකා වෝල්ටයිල්ස් කොටසක වටිනාකම රුපියල් 261.50 දක්වා පෙර දිනයට සාපේක්ෂව රුපියල් 5කින්ද අද දිනයේදී ඉහළ යාම සිදු විය.

Visits: 465