රු. බිලියන 20ක කොන්ත්‍රාත්තුවකින් ‘ඇක්සස් ටවර්’ රථගාලේ ඉදිකිරීම් ඇරඹෙයි

නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් සහ ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගමේ අරමුදලින් කොළඹ, යුනියන් පෙදෙසේ ඉබ්බන්වල ප්‍රදේශයේ ඉදි කෙරෙන ‘ඇක්සස් ටවර්‘ රථ ගාලේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ වූ බව වාර්තා වෙයි. මේ සඳහා එම සමාගම වෙත ලබා දුන් කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් බිලියන 20කට අධිකය.

කොළඹ නගරයේ ඉදි කෙරෙන රථගාල් 12ක් අතරින් තෙවැනි රථගාල ලෙස මෙය ඉදි කෙරෙන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි. කොළඹ කොටුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල ඉදි කෙරෙන අනෙක් රථගාල් දෙකෙහි ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට රථවාහන තදබදයට පිළියම් ලෙස රථවාහන තදබදය පවතින ප්‍රධාන නගරවල නව රථගාල් ඉදිකිරීමට නියමිතව ඇත.

එකවර රථවාහන 310 ක් නවතා තැබිය හැකි ලෙස ඉබ්බන්වල හන්දියේ ඉදිකෙරෙන මෙම රථගාලේ, වාහන නවතා තැබීමත් සමඟ ම දැනට එම ප්‍රදේශයේ පවතින වාහන තදබදය අවම වේ.

ඒ අනුව මරදාන පාර, ටී.බී. ජයා මාවත, ධර්මපාල මාවත, යූනියන් පෙදෙස, කිංසි පාර ඇතුළු සෙසු මාර්ගවල පවතින වාහන තදබදයට මෙමඟින් පිළියම් යෙදේ. මේ හේතුව මත කොළඹ මහ රෝහල් පරිශ්‍රය අවට ද වාහන තදබදයට විසඳුම් හිමි වන බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඉබ්බන්වල හංදියේ ඉදිකෙරෙන රථගාල සඳහා මහල් 10 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව ඉදිවන නව රථගාලේ 80% ක් රථවාහන නැවැත්වීම සඳහා වෙන් කළ යුතුය. කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහා ඉතිරි 20% වෙන්කෙරේ.

මෙහි බිම් මහල, පළමු මහල සහ දෙවන මහල කාර්යාල සහ සාප්පු සංකීර්ණ සඳහා වෙන් කෙරේ. තෙවන මහලේ සිට දසවන මහල දක්වා වෙන් කළ යුත්තේ යෝජිත රථ ගාල ඉදි කිරීම සඳහායි.

රථගාල ඉදිකිරීම සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 605 කි. රථගාල සඳහා වෙන්කර ඇත්තේ ඉබ්බන්වල හන්දියේ පිහිටා තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමකින් පර්චස් 113 ක් වන අතර මෙම රථගාල වර්ග අඩි 31,000 කින් සමන්විත වේ.

එම ප්‍රමාණයෙන් වර්ග අඩි 20,000 ක බිම් කොටසක් මත ඉදිවන මෙම ගොඩනැගිල්ල මහල් 10 භූමි ප්‍රමාණයේ එකතුව වර්ග අඩි ලක්ෂ දෙකකි. මෙයින් වර්ග අඩි 40,000 ක් කාර්යාල සංකීර්ණ සහ සාප්පු සංකීර්ණ සඳහාත්, වර්ග අඩි එක්ලක්ෂ හැටදහසක් රථගාල සඳහාත් වෙන් කිරීමට නියමිතය.

‍මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා “මෙය වෙනස්ම ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට රජයේ ප්‍රතිපාදන හිමිවෙන්නේ නෑ. ඇක්සස් සමාගමේ අරමුදලින් තමයි මේ ඉදිකිරීම කරන්නේ. මේ ව්‍යාපෘතිය සිදු කරන ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක්. යම් කාලයක් පවත්වාගෙන යාමෙන් පසු සියළු අයිතින් නාගරික සංවර්ධන අධිකාරියට හිමි වෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් වියදම් නොකර පුද්ගලික අංශයේ ආයෝජකයන් මඟින් කරන මේ ඉදිකිරීම්වල අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක පොදු ජනතා යහපත සඳහා පොදු ව්‍යාපෘති ක්‍රියාත්මක කර නිම කිරීම. දෙක නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් තර කිරීම, තුන පෞද්ගලික අංශය රටේ සංවර්ධනයට හවුල් කර ගැනීම.”  යනුවෙන් පවසා තිබේ.

Visits: 935