සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන යළි පැවැත්වීමට අවධානය

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන යලි පැවැත්වීමට රජයේ අවධානය යොමු වෙයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට දේශීය හා ජාත්‍යන්තර සමුළු,සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශණ පැවැත්වීම පසුගිය මාර්තු මාසයේ සිට නතර කෙරිණ. සංචාරකයන්ට රට විවෘත කිරීමට සමගාමීව මේ සඳහා අවසර දීම රජයේ අවධානය යොමුව ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

“Be Sri Lankan Buy Sri Lankan ” දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනයේ හා ලංකා පැක්
ප්‍රදර්ශනය හා සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පහුගියදා (12) ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මෙම ප්‍රදර්ශන දෙක කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී එකම දිනකදී ආරම්භ කෙරිණි. මෙරට දේශීය හා ජාත්‍යන්තර සමුළු,සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන පැවැත්වීම ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදර්ශන සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා, “කොවිඩ් වසංගතය නිසා මේ රටේ ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ හා සමුළු පැවැත්වීම නතර කරන්න වුණා. නමුත් දැන් සංචාරකයන්ට රට විවෘත කරලා තියෙන්නේ. ඊට සමගාමීව අපි මේ වෙළඳපල සකස් කර ගැනිම සඳහා දේශීය හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, සමුළු හා ප්‍රදර්ශණ පැවැත්විම යලි ආරම්භ කරනවා. හැබැයි එය සිදුවන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ මත පමණයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ හා අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කරගෙන යනවා. ඒ සඳහා ආරම්භයක් විදියට අපි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කලා. එහි පලමුවැන්න තමයි අද මේ පැවැත්වෙන්නේ.” යනුවෙන් පවසා ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “වත්මන් රජය දේශීය නිෂ්පාදන හා කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. පසුගිය අය වැයේදීත් අපි ඒ වෙනුවෙන් විශේෂ සහන රැසක් ලබා දුන්නා. මෙරට ජනතාව දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා පෙළඹවීමට කොවිඩ් වසංගතයත් කිසියම්හේතුවක් වුණා. පහුගිය කාලේ කොවිඩ් වසංගතයත් එක්ක පිට රටින් බඩු එන එක අඩු වුණා. ඒකත් එක්ක රටේ ජනතාවට දේශීය නිෂ්පාදන වල වටිනාකම දැනෙන්න පටන් ගත්තා. දේශීය නිෂ්පාදන රටේ වැඩි වෙනකොට ඊට වෙළඳපලක් අවශ්‍යයි. එවැනි වෙළඳපලක් ඇති කරන්න මෙවැනි ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ ඉතා වැදගත්.” යනුවෙන්ද පවසා ඇත.

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා සහ ප්‍රාථමික සෞඛ්‍ය හා කොවිඩ් රෝහල පාලනය කිරීමේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හර්ෂ අමල් ද සිල්වා මහතා ද මෙහිදී අදහස් දක්වා තිබේ.

Visits: 26