2020 දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 2.0 කින් පහළට

පසුගිය 2020 වසරේදී මෙරට සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 10,077ක් ලෙස වාර්තා වූ බවත්, එම කාලසීමාවේදී සමස්ත වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 16,055ක් වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මෙම මාස 12ක කාල සීමාව තුළදී මෙරට වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,978ක් ලෙස වාර්තා වී ඇත. මෙම අගය 2019 වසරේ මෙම කාලසීමාවේදී මෙරට වාර්තා කළ වෙළෙඳ හිඟය වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,997 ට සාපේක්ෂව ඩොලර් මිලියන 2,019ක අඩු වීමකි.

භාණ්ඩ අපනයනය හරහා ලැබෙන ආදායම සහ භාණ්ඩ ආනයනය හරහා සිදු කෙරෙන වියදම අතර පරතරය මෙලෙස වෙළෙඳ හිඟය ලෙස ගණන් බැලෙයි.

මෙහිදී 2020 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වෙළෙඳ හිඟය අඩුවීම සඳහා දායක වූ ප්‍රධාන අයිතම කිහිපයක්ම වන බවත් මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව අපනයන ඉහළ යෑම යටතේ ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදිතවල ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 102.9ක්ද, කුළුබඩු ආදායම ඩොලර් මිලියන 20.9 ක්ද, ආහාර පාන වර්ග හා දුම්කොළ ආදායම ඩොලර් මිලියන 17ක්ද සහ පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 15.7ක් ලෙස දායකත්වය ලබා දී ඇත.

එසේම ආනයන අඩුවීම යටතේ ප්‍රධානවම ඉන්ධන ආනයනයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,349ක්ද, රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනයෙන් ඩොලර් මිලියන 574.3ක්ද, පෞද්ගලික රථවාහන ආනයනයෙන් ඩොලර් මිලියන 532.8ක්ද සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනයෙන් ඩොලර් මිලියන 473.1ක්ද මේ සඳහා දායකත්වය ලබා දී ඇත.

මේ අතර 2020 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 964ක් ලෙස සටහන්ව ඇති අතර එම මාසයේදී ආනයන වියදම ඩොලර් මිලියන 1,527ක් ලෙස සටහන්ව ඇත. ඒ අනුව එම මාසයේදී ඩොලර් මිලියන 562ක වෙළෙඳ හිඟයක් වාර්තා වී ඇති අතර එය 2019 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 784ක වෙළෙඳ හිඟයට සාපේක්ෂව ඩොලර් මිලියන 222 ක අඩුවීමක් බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 323