ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වසරේ සැලසුම් මෙන්න

  • 3.5 GHz භාවිත කරමින් පූර්ව-වාණිජ 5G සේවාව හඳුන්වා දීම
  • SEA-ME-WE 6 සබ්මැරින් කේබල් පද්ධතිය සඳහා ආයෝජනය කිරීම

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2021 වසරේදී සිදු කිරීමට සැලසුම් කර ඇති සිය ව්‍යාපාරික සැලසුම්කි හිපයක්ම අනාවරණය කිරීමට එහි ප්‍රධානීන් පසුගියදා කටයුතු යෙදීය. 2020 මූල්‍ය වර්ෂයේදී සිය සමාගම පෙන්නුම් කළ කාර්ය සාධනය පිළිබඳව වාර්තාව ඉදිරිප්ත කරමින් එම ප්‍රධානීන් මේ පිළිබඳව කරුණු පවසා ඇත.

ඒ අනුව 2021 වසර මැද භාගයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් 3.5 GHz භාවිත කරමින් පූර්ව-වාණිජ 5G සේවාව හඳුන්වා දීමට ද අපේක්ෂා කර සිටියි. එසේම ඉදිරියේදී එන SEA-ME-WE 6 සබ්මැරින් කේබල් පද්ධතිය සඳහාද සමාගම මෙම වසරේදී ආයෝජනය කිරීමට කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා “ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් අප 2021 වසර ආරම්භ කළේ SLT-MOBITEL සන්නාම ඒකාබද්ධ කිරීමත් සමගයි. SLT සහ මොබිටෙල් බලවේග එක්වීමත් සමග එම සන්නාමවල සුවිශේෂී හැකියාවන් ඒකාබද්ධ කර අපගේ වෙළෙඳපොළ හිමිකාරිත්වය සහ විශ්වසනීයත්වය වර්ධනය කර ගැනීමට හැකි වනවා. 2021 වසරේ මැද භාගයේදී අප 3.5 GHz භාවිත කරමින් පූර්ව-වාණිජ 5G සේවාව හඳුන්වා දීමට ද අපේක්ෂා කරනවා. තවද, සමූහය තුළ නවෝත්පාදනය වේගවත් කිරීම සඳහා අප පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් පරිපාලක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතාද අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශන සේවා සම්පාදකයා ලෙස සිය ජාලය ග්‍රාමීය ප්‍රදේශ දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට කැපවී සිටින බව පවසයි. එමගින්, ශ්‍රී ලංකා රජය සමග අත්වැල් බැඳගනිමින් ඩිජිටල් තාක්ෂණය සම්බන්ධව නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ඇති පරතරය අවම කිරීම අරමුණ බවද පවසා සිටියි.

එහිදී COVID-19 වසංගත කාලය තුළ ද ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සහනදායී අධ්‍යාපන පැකේජ සහ නිවසේ සිට රාජකාරි කටයුතු සිදුකරන පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් නොබිඳුණු සබඳතාවක් අඛණ්ඩව පිරිනැමීමට කටයුතු කළ බවත් හෙතෙම පවසයි.

“ව්‍යාපාරික සහ ප්‍රජා අවශ්‍යතා සපුරාලමින් අප විසින් පාරිභෝගික සේවා සඳහා විවිධ ඩිජිටල් ක්‍රමවේද, ස්මාර්ට් නිවාස විසඳුම් සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳ අවකාශ හඳුන්වා දීමට ද අපට හැකි වුනා. වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු ලෙස SLT-MOBITEL ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග අත්වැල් බැඳගනිමින් ‘Park & Ride’ නාගරික බස්රථ සේවාව හඳුන්වා දීමටත් කටයුතු කළා.

මේවන විට අප ලෝකයට සම්බන්ධවන සබ්මැරින් කේබල් පහට අමතරව, ඉදිරියේදී එන SEA-ME-WE 6 සබ්මැරින් කේබල් පද්ධතිය සඳහා ද 2021 වසරේදී අප ආයෝජනය කිරීමට කටයුතු කරන බව ද මෙහිදී ආඩම්බරයෙන් සඳහන් කිරීමට කැමතියි,” යනුවෙන්ද ප්‍රධාන නිලධාරීවරයා සඳහන් කර සිටියි.

මොබිටෙල් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතාද අදහස් දක්වමින්, “2021 වසරේදී ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේ ම ආර්ථිකයන් අනපේක්ෂිත අභියෝග හමුවේ දැවැන්ත අභියෝග රැසකට මුහුණ දුන් නමුත් එම අභියෝග ජය ගනිමින් මොබිටෙල් සමාගම 27 වසරක ඉතිහාසයේ ඉහල ම ලාභය අත්කර ගනිමින් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ රජයේ දැක්ම අනුව යමින් මොබිටෙල් සමාගම මෙරට ග්‍රාමීය ප්‍රදේශවල සබඳතා විසඳුම් දියත් කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දුන්නා.” යනුවෙන් සඳහන් කරයි.

Visits: 155