පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්

වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් තුන්දහස් තුන්සිය තිස් දෙදෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබරවාරි 12) දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මෙලෙස මාසික දීමනාවක් හිමි වේ.

මෙම මාසික දීමනාව ලබාදීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා සේවකයන් කිහිපදෙනකු උදෙසා චෙක්පත් ප්‍රදානය කළේය.

2020 ජූලි 15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම මාසික දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 95ක් මහා භාණ්ඩාගාරයෙන් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවට නිදහස් කර ඇත.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමය නියෝජනය කරමින් ජේ.එම් බිසෝමැණිකේ මිය රජය ගත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රණාමය පුද කරමින් ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ද අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්නූවාය.

මෙහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, තමන් කම්කරු අමාත්‍යවරයාව සිටින කාලයේ පටන් අවධානය යොමු කළ ගැටලුවකට මෙලෙස විසඳුමක් ලබා දීමට හැකිවීම ගැන ඉතා සතුටට පත්වන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ආර්.සුනේත්‍රා ගුණවර්ධන, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිමුතු කුලතිලක මහත්ම මහත්මීන් සහ චෙක්පත්ලාභීන් පිරිසක් එක්ව තිබේ.

Visits: 48