ධම්මික පෙරේරාගේ ටයිල් සමාගම් තුනක ලාභාංශ ගෙවීම මාර්තු 17 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටයිල් සමාගම් තුනක් වන ලංකා ටයිල්ස් පීඑල්සී (TILE.N), ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී (LWL.N) සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (RCL.N) යන සමාගම් සිය කොටස් හිමිකරුවන් සඳහා වන ලාභාංශ ගෙවීම පිළිබඳව නිවේදන නිකුත් කර තිබේ.

මේ අතරින් ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 12.30ක ලාභාංශ ගෙවන බව පවසයි. එහිදී මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවනු ලබන බවත් එය දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක් බවත් ලංකා ටයිල්ස් පවසයි. සමාගමට අනුව එහි ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන පෙබරවාරි 23 වැනිදා නම් කර ඇති අතර ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.

එසේම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම මගින් සිදු කරන ලාභාංශ ගෙවීමේදී එක් ඡන්ද හිමි කොටසක් සඳහා රුපියල් 10ක් ලබා දෙන බව පවසයි. එහිදී 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මෙම ලාභාංශ ගෙවන අතර එය දෙවැනි අතරමැදි ලාභාංශය ලෙස සඳහන් වෙයි. එම සමාගමේද ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන පෙබරවාරි 23 වැනිදා නම් කර ඇති අතර ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.

මීට අමතරව රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම සිදු කර තිබෙන ලාභාංශ ගෙවීම පිළිබඳ නිවේදනයට අනුව එම සමාගම මගින් එක් සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහා රුපියල් 11ක ලාභාංශ ගෙවන බව පවසයි. 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයට අනුව මෙම ලාභාංශ ගෙවන බවත් එය දෙවැනි අතරමැදි ලාභාංශ ලෙස සටහන් වන බවත් සමාගම පවසයි. එහිද ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන පෙබරවාරි 23 වැනිදා නම් කර ඇති අතර ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.

මෙම සමාගම් තුනම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් වැලිබල් වන් සමූහය යටතේ පවතී. මේ අතරින් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම ඊයේ සිය කොටස් අතුරු බෙදීමක්ද ප්‍රකාශයට පත් කර තිබුණි.

Visits: 548