දුරස්ථව සිට වැඩ කිරීම සහ නිපුණතා සංවර්ධනය එයාර්ටෙල් කණ්ඩායමේ ‘නව සාමාන්‍ය’ තත්වයට බවට පත්වෙයි

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී රට පුරා අගුළු දැමීමේ තත්වයත් සමඟ එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කාර්යාලීය හා ඉගෙනීම් කටයුතු මෙන්ම කුසලතා සංවර්ධනය ආදිය ද ඩිජිටල්කරණයට ලක් කළ අතර මේ වන විට එම කටයුතු තවත් දෙගුණ කිරීමට සමාගම පියවර ගනිමින් සිටින බව පවසයි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘මින් පෙර එකිනෙකා සුහදව මුණ ගැසී සහයෝගයෙන් කටයුතු කිරීමට නිර්මාණය වූ සේවා ස්ථාන සංස්කෘතීන් පවත්නා වසංගත තත්වයත් සමඟ අද වන විට ගිලිහෙමින් පවතිනවා. එය එසේ වුවත් ඉගෙනීම් හා සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මෙම වෙනස් වීම අපට නව අභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ ආයතන නොයෙක් ආකාරයෙන් වියදම් අඩු කිරීමට කටයුතු කරමින් සිටියද ඉගෙනීම අන් කවරදාටත් වඩා මේ අවස්ථාවේදී වැදගත් වේ යැයි අප විශ්වාස කළා. මෙම කුසලතා තුළින් ආයතන හා පුද්ගලයින්ට වඩාත් ඔරොත්තු දීමට, හැඩගැසීමට හා නව්‍යකරණය වීමට හැකි ශ‍්‍රම බලකායක් ඇති කිරීම අපගේ අරමුණයි’‘ යනුවෙන් පැවසුවේය.

පසුගිය කාර්තු දෙක තිස්සේ සමාගමේ ශ‍්‍රම බලකායෙන් 85%කට වැඩි ප‍්‍රමාණයක් ඩිජිටල්කරණය කළ පුහුණු වැඩසටහන් වෙත මාරු වීම දක්නට ලැබුණි. ඒවා අතර කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (Postgraduate Institute of Management) සමඟ එක්ව පවත්වන ලද එයාර්ටෙල් විධායක සංවර්ධන වැඩසටහන (Airtel Executive Development Programme), කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසල (Colombo Business School) සමඟ එක්ව පවත්වන ලද අලෙවි නායකත්වය පිළිබඳ සංවර්ධන වැඩසටහන (Sales Leadership Development Programme) සහ අනෙකුත් අභ්‍යන්තර පුහුණු වැඩසටහන් මෙයට ඇතුළත් විය. සමාගමේ අලෙවි බලකාය සෘජුවම ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන් පවත්වා තිබුණි.

Coursera සහ එයාර්ටෙල් i-learn වැනි වැඩසටහන් ඇතුළුව දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදය ඔස්සේ සිදු කරනු ලබන  ඕනෑම පාඨමාලාවක් හැදෑරීමට මෙහිදී සේවකයින්ව දිරිමත් කළ අතර ඔවුන්ගේ වැඩ කටයුතු පහසු කරගැනීමට හා ඒ පිළිබඳව දැනුම වැඩිදියුණු කරගැනීමට එමගින් හැකියාව ලැබුණි. සේවකයින්ව දිරිගැන්වීමේ පියවරක් ලෙස මෙම වැඩසටහන් සාර්ථකව නිම කළ සියලූම සේවකයින්ට e-learning පිළිබඳව ශූරතාවක් පිරිනමන ලදී. මීට අමතරව 4G ජාල ආවරණය සඳහා වූ සංඛ්‍යාත පරාසය සාර්ථකව හිමි කරගැනීම සහ නුදුරේදීම මුළු දිවයිනම 4G LTE තාක්ෂණයෙන් ආවරණය කිරීමට ප‍්‍රතිචාර වශයෙන් 4G කුසලතා සංවර්ධන වැඩසටහන් සඳහා සමාගමේ සේවකයින් සහභාගී වීම ද දක්නට ලැබුණි.

කුසලතා සංවර්ධන හැකියාව ඩිජිටල්කරණය කිරීම මගින් ලොව පුරා සිටින හොඳම 4G විශේෂඥ පුහුණුකරුවන් සහ පුහුණු කිරීමේ පද්ධතිවලින් අවශ්‍ය දැනුම ලබා ගැනීමේ හැකියාව ලබා දෙමින් ජාත්‍යන්තර තලයේ හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට එයාර්ටෙල් සමාගමට ප‍්‍රවේශය ලබා දී ඇත. එයාර්ටෙල් හි සුවිශේෂී සේවා සංස්කෘති තුළ පැවත එන වටිනාකම් හා සාරධර්ම මුල් කර ගනිමින් සමාගමට සේවකයින් අළුතින් බඳවා ගැනීම, පුහුණු කිරීම සහ සමාගමේ දැනට සිටින හා නව සේවකයින්ගේ කටයුතුවලට සහාය වීම ආදිය දක්වා මෙම ඩිජිටල්කරණය කළ මානව සම්පත් ක‍්‍රියාවලිය යොදා ගෙන තිබේ.

‘‘ශක්තිමත් හා විවිධ දක්ෂතාවලින් යුතු කණ්ඩායම් වැඩිදියුණු කිරීම අපගේ වඩාත් වැදගත් නායකත්ව හැකියාවලින් එකක් ලෙස පෙන්වා දිය හැකියි. මෙයින් අදහස් වන්නේ අපගේ සියලූම සේවකයින් දුර සිට වැඩ කරන සේවා පරිසරයක සිටියද ඔවුන්ට දියුණු වීමට අවශ්‍ය කුසලතා තිබිය යුතු බවයි. අපගේ මානව සම්පත් ක‍්‍රියාවලියේ සියලූම අංශයන් ඩිජිටල්කරණය කළේ ඒ නිසයි. මේ හේතුවෙන් සේවකයින් දිරිමත් කිරීමේ සැසි වැනි සරල ක‍්‍රියාවලියක සිට කළමනාකරණ පුහුණුව මෙන්ම සේවක බඳවා ගැනීම් ආදි සියලූ ක‍්‍රියාවලීන් online තාක්ෂණය ඔස්සේ අප පවත්වනු ලැබුවා.’’ යනුවෙන් එයාර්ටෙල් ලංකා හි මානව සම්පත් ප‍්‍රධානී, කනිෂ්ක රණවීර මහතා පැවසුවේය.

පසුගිය කාර්තු දෙක තුළ එයාර්ටෙල් සමාගම සිදු කළ සේවක බඳවා ගැනීම් ආදිය, මානව සම්පත් ක‍්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීම හරහා අඛණ්ඩ සේවාවක් පවත්වා ගෙන යාමට හැකි වීම පිළිබඳව පැහැදිලි සාක්ෂියක් සපයනු ලබයි. මීට සමානව, එයාර්ටෙල් හි මානව සම්පත් සබඳතා සැසිද මෙම ඩිජිටල්කරණය කළ ක‍්‍රියාවලීන්ට ඇතුලත් වන අතර “Airtel Tech Talk” වැනි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් හා සමාගම තුළ සිටින ප‍්‍රවීණයන් විසින් සේවකයින් සඳහා පවත්වනු ලබන දැනුම බෙදාහදා ගැනීමේ අවස්ථාවන් ද සමාගමේ විවිධ ක‍්‍රියාකාරී විශේෂඥතාවයන්ගෙන් යුත් කණ්ඩායම් සියල්ලටම උද්යෝගීමත් හා සාමූහික වේදිකාවක් ලෙස ක‍්‍රියා කරයි.

Visits: 25