අබාන්ස් පීඑල්සී සතු අබාන්ස් ඉලෙක්ට්‍රිකල් පීඑල්සීහි කොටස් ප්‍රතිශතය 50% ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අබාන්ස් පීඑල්සී සමාගම සතු අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගමේ කොටස් ප්‍රතිශතය ඊයේ (පෙබරවාරි 12) දිනය වනවිට 50%ක් ඉක්මවූ බව අබාන්ස් පීඑල්සී සමාගම නිවේදනය කරයි.

වසරකට ආසන්න කාලසීමාවක් තුළ දී අබාන්ස් පීඑල්සී සමාගම මගින් අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගමේ කොටස් මිලදී ගැනීමත් සමගම මෙම හිමිකාරීත්වය අත්පත් කරගැනීමට එම සමාගම සමත්ව ඇත.

ඒ අනුව 2020 පෙබරවාරි 12 වැනිදා වනවිට අබාන්ස් පීඑල්සී සතු අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණය 2,575,742ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 54%ක අගයකට පත්ව තිබේ.

ඒ අනුව මේ හිමිකාරීත්වයත් සමගින්ම අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගම අබාන්ස් පීඑල්සීහි පරිපාලිත සමාගමක් බවට පත්වන බවත් අබාන්ස් පීඑල්සී දැනුම් දී සිටියි.

2020 ජූනි මාසයේ සිට අබාන්ස් පීඑල්සී සමාගම අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගමේ කොටස් අත්පත් කරගැනීම සිදු කරයි. එහි ආසන්නතම මිලදී ගැනීම යටතේ පසුගිය ජනවාරි 29 වැනිදා සිට පෙබරවාරි 1 වැනිදා දක්වා කොටස් 26,837ක් අත්පත් කරගැනීම සිදු විය. එහිදී රුපියල් සමාගමේ කොටසක් රුපියල් 176ත් 185ත් අතර මිලකට අලෙවි වී තිබේ.

ඊයේ දිනයේදී අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 175ක් බවට පත්ව තිබූ අතර එය පෙර දිනයේ වාර්තා වූ රුපියල් 168.50ට සාපේක්ෂව රුපියල් 6.50 ක එනම් 3.86%ක ඉහළ යාමකි.

2020 අගෝස්තු 28 වැනිදා නිකුත් කෙරුණු අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පීඑල්සීහි 2019/2020 වාර්ෂික වාර්තාවට අනුව එම සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවන් අතර පළමු තැන අබාන්ස් පීඑල්සී සමාගම පසුවිය. එහිදී කොටස් 2,195,179ක හිමිකාරීත්වයක් පැවැති අතර එය ප්‍රතිශතයක් ලෙස 42.95%ක් විය.

Visits: 255