රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමෙන් කොටස් අතුරු බෙදීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටයිල් නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම සිය කොටස් අතුරු බෙදීමක් නිවේදනය කරයි. අද දිනයේදී රැස්වුණු සිය අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවේදී මේ පිළිබඳ යෝජනාව සම්මත වී ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මෙහිදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ දැනට නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් 01ක්ම නව  සාමාන්‍ය කොටස් 10ක් ලෙස මෙම අතුරු බෙදීම සිදු කෙරෙන බව සමාගම පවසා සිටියි.

ඒ අනුව දැනට රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව වන 110,789,384 මෙම අතුරු බෙදීම හේතුවෙන් කොටස් 1,107,893,840ක් දක්වා ඉහළ යෑමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මෙහිදී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වෙත කිසිදු වෙනස් කමක් සිදු නොවන බවත් එය රුපියල් බිලියන 1.3ක් (1,368,673,373ක්) ක් ලෙස පවතින බවත් සමාගම පවසා සිටියි.

මේ අතර ඉහත සඳහන් කළ මෙම යෝජිත සාමාන්‍ය කොටස් අතුරු බෙදීම කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය වෙත ඉදිරිපත් කෙරෙන බවත් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම කොටස් අතුරු බෙදීම නිවේදනය කිරීමත් සමගින්ම අද දිනයේදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 53.25 කින් එනම් 19%කින් ඉහළ යාම සිදු විය. ඒ අනුව අද දිනයේ ගනුදෙනු ආරම්භයේදී එය රුපියල් 280.25ක් ලෙස පැවැති අතර අද දිනය නිමා වනවිට එය රුපියල් 333.50ක් දක්වා ඉහළ නැග තිබුණි.

රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැලිබල් වන් සමූහයට අයත් සමාගමකි. ඒ අනුව පසුගිය ජනවාරි මාසය මැදදී ධම්මික පෙරේරා මහතාට අයත් සමාගම් මගින් සිදු කළ කොටස් අතුරු බෙදීම් අවස්ථාවේ ආසන්නතම අවස්ථාව ලෙසටත් මෙම රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී අතුරු බෙදීම සඳහන් කළ හැකිය.

Visits: 561