හේකාර්බ් පීඑල්සී 2020/21 මූල්‍ය වර්ෂයේ මුල් මාස 9දී බදු පසු ලාභය 122% කින් ඉහළට

හේලීස් සමූහයට අයත් හේකාර්බ් පීඑල්සී සමාගම 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ සිය 2020/21 මූල්‍ය වර්ෂයේ මුල් මාස 9ක කාලසීමාව සඳහා රුපියල් බිලියන 2.8ක (රුපියල් මිලියන 2,825,921) බදු පසු ලාභයක් අත් කර ගැනීමට සමත්ව ඇතැයි පවසයි.

ඒ අනුව මෙය 2019/20 මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී සමාගම අත් කරගත් රුපියල් බිලියන 1.27ක (රුපියල් මිලියන 1,275,326) බදු පසු ලාභයට සාපේක්ෂව 122%ක වර්ධනයකි. විශේෂයෙන්ම මෙම මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුවේදී සමාගම පෙන්වූ සාර්ථකත්වයන් මේ සඳහා හේතු වූ බව සමාගම පවසයි.

මෙහිදී සමාගම එම කාලසීමාවේදී හිමි කරගෙන ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 3.4ක් වන අතර එය පෙර වසරේ එම කාලසීමාවේදී උපයා ගත් ලාභය වූ රුපියල් බිලියන 1.5 ට සාපේක්ෂව 118%ක වර්ධනයකි. මෙහිදී සිය වියදම් පිළිබඳ සාර්ථක කළමනාකරණය මෙලෙස සිය ප්‍රතිඵල වර්ධනය කරගැනීමට හේතු වූ බව සමාගම පවසයි.

මෙහිදී 2020/21 මූල්‍ය වර්ෂයේදී මුල් මාස 9 තුළ සමාගමේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රථිඵලය රුපියල් බිලියන 3.5ක් බවට පත්ව ඇති අතර එය පෙර වසරේ එම කාලසීමාවේදී හිමි කරගෙන ඇති ප්‍රථිඵලය වූ රුපියල් බිලියන 1.8ට සාපේක්ෂව 93%ක වර්ධනයකි.

මෙම තෙවැනි කාර්තුවේදී සමාගමේ ආදායම රුපියල් බිලියන 7ක් දක්වා එනම් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 11%ක වර්ධනයක් පෙන්වා ඇත. එසේම දළ ලාභය රුපියල් බිලියන 1.9ක් දක්වා 34%කින් වර්ධනය වී තිබේ.

එසේම හේකාර්බ් පීඑල්සී සමාගම 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා රුපියල් මිලියන 861,129 ක ලාභයක් හිමි කරගෙන ඇති අතර, 2019/20 මූල්‍ය වර්ෂයේ එම කාර්තුවේදී එය රුපියල් මිලියන 618,581 ක් විය. එය 39%ක වර්ධනයකි.

මෙහිදී හේකාර්බ් සමාගමේ එක් කොටසක ඉපැයීම 2020/21 මූල්‍ය වර්ෂයේ මුල් මාස 9 තුළදී රුපියල් 81.02ක් බවට පත්ව ඇත. එය පසුගිය මූල්‍ය වර්ෂයේ මුල් මාස නමයේදී කොටසක් හිමි කරගත් රුපියල් 36.88ක වටිනාකම සාපේක්ෂව 120%ක වර්ධනයකි.  

Visits: 368