සිලෝන් ටොබැකෝ යළිත් වටිනාම ලැයිස්තුගත සමාගම බවට පත්වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් වැඩිම වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක් සහිතව වටිනාම ලැයිස්තුගත සමාගම බවට යළිත් පත් වීමට සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම ඊයේ සමත් විය.

ඒ අනුව එම ස්ථානයේ පසු වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ඇද දමමින් සිලෝන් ටොබැකෝ කම්පැනි පිඑල්සී මෙලෙස යළිත් මුල් ස්ථානයට පත්ව ඇත.

මෙහිදී ඊයේ දිනය තුළදී පමණක් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 422.75ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව රුපියල් 17.50කින් එනම් 4%කින් පහත වැටී තිබේ. එසේම දෙවැනි ස්ථානයේ පසු වුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 154 දක්වා පෙර දිනයට සාපේක්ෂව ශත 75 කින් පහත වැටී ඇත.

මේ අතර ඊයේ දිනය තුළදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 1,105 ක් දක්වා රුපියල් 1.75 කින් ඉහළ යාම මෙලෙස ලැයිස්තුගත සමාගම් අතර වඩාත් වටිනාම සමාගම බවට පත්වීමට එම සමාගමට මග පෑදී තිබේ.

ඒ අනුව මෙම ප්‍රතිඵලද සමගින් ඊයේ දිනය නිමා වනවිට සිලෝන් ටොබැකෝ කම්පැනි සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 206.9ක් ලෙසත්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 203ක් ලෙසත්, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 200.89ක් ලෙසත් සටහන්ව තිබේ.

මෙහිදී එම සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය වෙත දක්වා ඇති දායකත්වයේ ප්‍රතිශතය පිළිවෙලින් 5.96%ක්, 5.85%ක් සහ 5.79%ක් ලෙස සටහන්ව ඇත.

Visits: 348