රටෙහි ආර්ථිකයේ අයහපත් බව කොටස් හුවමාරුව තවත් පහළට ඇද දමයි

කොළඹ කොටස් හුවමාරුව තුළදී ආයෝජකයන් අතර තවදුරටත් පවතින කොටස් අලෙවි කිරීමේ ප්‍රවණතාව අද දිනයේදීත් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ හේතුවෙන් දර්ශක අගයන් අද දිනයේදීත් පහත වැටීම සිදු විය. විශේෂයෙන්ම රටෙහි ආර්ථික තත්ත්වයේ පවතින අයහපත් බව පිළිබඳව ආයෝජකයන් තුළ පවතින කණස්සල්ල මෙම අලෙවියට හේතුව වී ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,689.05ත් ඒකක 8,003.98 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,732.43 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 09) දිනයට සාපේක්ෂව ඒකක 231.34 ක් එනම් -2.90%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව අද දිනයේදී සිදු වූ සෙලාන් බැංකුවේ ඡන්ද හිමි කොටස් ගනුදෙනුව දිනයේ පිරිවැටුම සඳහා 0.4%ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 34ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 163ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+7.21), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.26), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+1.62), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+1.5), හේකාර්බ් පීඑල්සී HAYC (-26.49), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (-16.44), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-16.31), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-14.4), වැලිබල් වන් පීඑල්සී VONE (-11.93) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,087.70 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 09) දිනයට සාපේක්ෂව ඒකක 82.22 ක එනම් -2.59%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.12ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 09දා) වාර්තා කළ රුපියල් බිලියන 4.95ට සාපේක්ෂව 4% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.38ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 14.17%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 392.96ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 728.09ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 335.13කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 10.64ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 110.26කි. එසේම සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 453.65ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,481ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 29% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,232ක සහ රුපියල් මිලියන 953 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 451