ඇක්සස් ඉන්ජිනියරිං 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේ බදු පසු ලාභය 141.3%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිවිල් ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම 2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 691ක බදු පසු ලාභයක් හිමි කරගැනීමට සමත් වූ බව පවසයි.

2020 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වසරේ මුල් මාස 09 සඳහා සමාගමේ අතරමැදි මූල්‍ය ප්‍රකාශනයට අදාළව නිවේදනයක් නිකුත් කරමින් සමාගම මේ කරුණු සඳහන් කරයි. ඒ අනුව මෙය 2019/20 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී සමාගම හිමි කරගත් බදු පසු ලාභය මෙන් 141.3%ක වර්ධනයකි.

මෙම වාර්තාව සඳහන් කරන ආකාරයට මෙම මාස නවයක කාලසීමාවේදී ඇක්සස් සමූහය හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් මිලියන 1,268ක් ලෙස සටහන්ව ඇත. එය 2019/20 මූල්‍ය වර්ෂයේ එම කාලසීමාවේදී සමූහය අත්කරගත් බදු පසු ලාභයට සාපේක්ෂව 18.7%ක වර්ධනයකි.

මෙම නිවේදනයට අනුව තෙවැනි කාර්තුවේ අත් කරගත් මෙම කාර්යසාධනය කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා මෙහෙයුම් වෙත ඇති වූ පසුබෑම යළි ප්‍රකෘතිමත්වීමක් ලෙස පෙන්විය හැකි බවද සඳහන් වී තිබේ.

එසේම මෙම තෙවැනි කාර්තුවේදී ඇක්සස් ඉන්ජිනියරි පීඑල්සී සමාගමේ ලාභය ඊට පෙර වසරේ එම කාර්තුවේදී ලැබූ ලාභයට වඩා රුපියල් මිලියන 559ක (36.4%) ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

සමාගම සඳහන් කරන ආකාරයට ඉදිකිරීම් ක්‍රියාකාරකම්, දේපළ වෙළෙඳාම් අංශය සහ මෝටර් රථ අංශවල ආදායම් පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුවේදී පිළිවෙලින් 15%ක, 14%ක  සහ 48%ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ. එහෙත් මෙම කාර්තුවේදී ඉදිකිරීම් සම්බන්ධ අමුද්‍රව්‍ය අලෙවිය හරහා ලැබූ ආදායම් කැපී පෙනෙන ලෙස 143%කින් ඉහළ ගොස් ඇත.

මෙහිදී වසරේ මුල් මාස නවය තුළ සමාගමේ ඉදිකිරීම් ක්‍රියාකාරකම්හි ආදායම රුපියල් මිලියන 8,654ක් බවට පත්ව ඇති අතර එය සමූහයේ ආදායමෙන් 53.5%ක ප්‍රතිශතයකට දායකත්වය ලබා දී ඇත. එසේම ඉදිකිරීම් ආශ්‍රිත අමුද්‍රව්‍ය අලෙවිය හරහා ලැබුණු ආදායම රුපියල් මිලියන 3,827ක් බවට පත්ව ඇති අතර එහි දායකත්වය 23.7% කි. මීට අමතරව දේපළ වෙළෙඳාම් සහ මෝටර් රථ අංශයේ ආදායම් පිළිවෙලින් රුපියල් මිලියන 504ක් සහ රුපියල් මිලියන 3,176ක් ලෙස වාර්තා කර තිබේ. එහි දායකත්ව පිළිවෙලින් 3.1%ක් සහ 19.7%ක් ලෙස සටහන්ව ඇත

මෙහිදී සමාගම මගින් තෙවැනි කාර්තුව තුළදී නිමාවට පත් කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අතර මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය, අනුරාධපුර ජල සම්පාදන ව්‍යාපෘතිය, බ්ලූමැන්ඩල් නිවාස ව්‍යාපෘතිය, නැනෝතාක්ෂණික ඉදිකිරීම් ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, CAMSO Load Star ගබඩා සංකීර්ණ ව්‍යාපෘතිය, නිට්ටඹුව පස්යාල මාර්ග ව්‍යාපෘතිය, ස්ටේඩියම්ගම නිවාස ව්‍යාපෘතිය, iRoad ව්‍යාපෘතිය සහ මෑතකදි ආරම්භ කළ එලියට් ප්ලේස් නිවාස ව්‍යාපෘතියද ඊට අයත් වෙයි. මීට අමතරව සමාගම මගින් සිය විදේශ මෙහෙයුම් යටතේ කෙන්යාවේ ගුවන් පාලම් සහ සපත්තු පාලම් කිහිපයක් ඉදිකිරීම් සිදු කර ඇත.

Visits: 371