මාසයේ ගනුදෙනු දින 6ක් තුළ 5වැනි දිනටත් දර්ශක අගයන් පහළට

කොළඹ කොටස් හුවමාරුව තුළ තනි පුද්ගල ආයෝජකයන් තුළ තවදුරටත් පවතින කොටස් අලෙවියේ පීඩනයත් සමගින්ම අද (පෙබරවාරි 09) දිනයේදීද දර්ශක අගයන් තවදුරටත් පහළ යාම සිදු විය. එසේම විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් තුළ පවතින වාෂ්පශීලිතාවද දර්ශක අගයන් වෙත බලපෑ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

දිනය මැදදී ගනුදෙනු යම් යථාවත්වීමක් පෙන්නුම් කළද ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ තවදුරටත් දේශීය ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වය යන කරුණු හේතුවෙන් පිට පිට තෙවැනි දිනයටත් වෙළෙඳ පොළ පහළ වැටීමක් සිදු වුණු බව එම සමාගම් වැඩිදුරටත් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,853.21ත් ඒකක 8,123.20 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,963.77 ක් බවට පත්විය. එය ඊයේ (පෙබරවාරි 08) දිනයට සාපේක්ෂව ඒකක 149.49 ක් එනම් -1.84%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව පෙබරවාරි මාසයේ ආරම්භයේ සිට පසුගිය 05 වැනිදාට අමතරව ගනුදෙනු සිදු වූ පෙබරවාරි 01, 02, 03, 08 සහ 09 යන දින පහකදීම දර්ශක අගයන් පෙර දිනයට සාපේක්ෂව පහළ වැටීමක් සිදුව තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 34ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 163ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+2.83), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+1.91), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+1.32), ඊබී ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී EBCR (+1.25), එන්ඩීබී බැංකුව NDB (+1.06), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-19.02), වැලිබල් වන් පීඑල්සී VONE (-12.18), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.86), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-8.05), හේකාර්බ් පීඑල්සී HAYC (-6.2) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,170.12 ක අගයක් ගත් අතර, එය ඊයේ (පෙබරවාරි 08) දිනයට සාපේක්ෂව ඒකක 57.54 ක එනම් -1.78%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.95ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (පෙබරවාරි 08දා) වාර්තා කළ රුපියල් බිලියන 4.79ට සාපේක්ෂව 3% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය. එසේම විදේශයන්හි සිට විදේශයන් වෙත සිදු කරන මුදල් හුවමාරු සැලකිය යුතු ආකාරයේ දියුණු වීමක්ද පෙන්නුම් කර ඇත.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.48ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.59%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 649.22ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 659.86ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 10.65කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 10.31ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 73.73කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 39.53ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,660ක් සඳහා ප්‍රාග්ධණ භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 34% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන භාණ්ඩ සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,202ක සහ රුපියල් මිලියන 606 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 251