කොවිඩ්-19 එන්නත්කරණයේදී පුද්ගලික අංශ සුව සේවකයින් සඳහාද ප්‍රමුඛත්වය ලබා දෙන්න – APHNH රජයෙන් ඉල්ලයි

මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතින කොවිඞ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහනේදී රජයේ සුව සේවකයින්ට හා සමානව පුද්ගලික අංශයේ සුව සේවකයින්ටත් ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) රජයෙන් ඉල්ලා සිටී.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ පුද්ගලික සුව සේවකයින් තවමත් රජයේ මෙම එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ලැයිස්තුගත කර නොමැති බවත් ශ්‍රී ලංකාවේ කොවිඞ්-19 වසංගත ප‍්‍රතිචාරයේදී පුද්ගලික අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති නිසා මේ පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.

මෙරට සිටින බාහිර රෝගීන්ගෙන් 50%කට වැඩි පිරිසකට ප‍්‍රතිකාර කරමින් කොවිඞ්-19 ප‍්‍රතිචාරයේ පුද්ගලික අංශය සිදු කළ කාර්යභාරය පිළිබඳව APHNH නැවත අවධාරණය කර සිටියේය. වෛරසය පැතිරීම හා අවදානම අවම කිරීමට රජයේ සුව සේවා ආයතන කැපවී ක‍්‍රියා කරමින් සිටින අතරතුර රෝගීන්ට නිසි වේලාවට අඛණ්ඩව ප‍්‍රතිකාර ලබා දීමට පුද්ගලික අංශය සමත් වූ බව සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා ‘‘කොවිඞ්-19 වසංගතයට එරෙහි සටනේදී පුද්ගලික සුව සේවකයින්ද පෙරමුණෙන් සිටිනවා, ඒවගේම රාජ්‍ය අංශයේ සුව විරුවන් මෙන්ම වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් ඔවුන්ට ද තිබෙනවා. අපගේ සුව සේවකයින් අපගේ කොවිඞ් වසංගත ප‍්‍රතිචාරයේ ඉතා වැදගත් අංශයක්, එනිසා වත්මන් එන්නත්කරණ වැඩසටහන සඳහා රජය ඔවුන්ටද ප‍්‍රමුඛත්වය ලබා දිය යුතුයි. පුද්ගලික සුව සේවකයින්ට එන්නත් ලබා දීම සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු APHNH සහ පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව (PHSRC) සතුව පවතින බැවින් ඔවුන් ද මෙම වැඩසටහනට ඇතුලත් කර ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.’’

‘‘පසුගිය මාස කිහිපය පුරාවට මෙරට කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ හා එයින් ආරක්ෂා වීමේ ප‍්‍රයත්නයන් සඳහා අපගේ සාමාජික රෝහල් හා ඉදිරියෙන් සිටින සුව සේවකයින් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. කොවිඞ්-19 හේතුවෙන් රජය මත පැටවී තිබෙන බර අවම කිරීම සඳහා අප විසින් අතර මැදි සෞඛ්‍ය සේවා පහසුකම් සැලසූ අතර සිදු කරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ද වැඩි කරනු ලැබුවා. මේ නිසා මෙම එන්නත්කරණ වැඩසටහනේදී රජයේ සේවකයින් සමඟින් අපගේ සේවක මණ්ඩලයටත් ප‍්‍රමුඛත්වය ලබා දිය යුතුයි.’’ යනුවෙන් ඔහු වැඩිදුටරත් පැවසුවේය.

තවද මෙම ඉල්ලීම කරන අතරම APHNH සඳහන් කර සිටියේ දිවයින පුරා කොවිඞ්-19 එන්නත්කරණ වැඩපිළිවෙලේ පරිපාලන කටයුතු සඳහා රජයට සහාය වීමට පුද්ගලික අංශය සූදානමින් සිටින බවයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයට අනුව 2021 පෙබරවාරි පළමු වනදා වන විට පුද්ගලයින් 100,000කට වැඩි සංඛ්‍යාවකට රජයේ කොවිඞ්-19 ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත ලබා දී ඇති බව වාර්තා වෙයි.

‘‘පසුගිය දින කිහිපය පුරාවට රජය හා සෞඛ්‍ය අංශය විසින් මෙම එන්නත්කරණ ක‍්‍රියාවලිය පරිපාලනය කළ ආකාරය ඉතා ප‍්‍රශංසනීයයි. පුද්ගලික අංශය ද මෙම ක‍්‍රියාවලියට මැදිහත් වූ පසු දිවයින පුරා වැඩි මාත‍්‍රා ගණනක් ලබා දීමට හැකි වෙනවා වගේම ශ්‍රී ලංකාවේ මෙම එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂම ඉදිරියට පවත්වා ගෙන යාමටත් හැකි වනවා. ඉදිරි සති කිහිපය තුළ මෙරටට එන්නත් මාත‍්‍රා මිලියනයක් ලැබීමට නියමිත අතර ඒ සඳහා එන්නත්කරණ සේවා වැඩි කිරීම ද අවශ්‍යව පවතිනවා.’’ යනුවෙන් පවසන ආචාර්ය ලකිත් කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙලට පුද්ගලික අංශය අඛණ්ඩව සහාය වන බව නැවතත් අවධාරණය කර සිටී.

Visits: 36