කිරි ගොවි ණය මුදල රු.ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමට අගමැති උපදෙස්

කිරි ගොවින් සඳහා අය-වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (2021.02.08) දින උපදෙස් ලබාදුන් බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

අය-වැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ  අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා  ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට සියයට 4 පොලියට රුපියල් ලක්ෂ දහයක් දක්වා ණය ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

මේ අතර, අය-වැය යෝජනා අනුව දැන ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මෙම හමුවේදී මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැහැදිලි කළේය.

ඒ අනුව රජයේ සේවකයන්ට දෙනු ලබන නිවාස ණය ලබාගත් හා ලබාගන්නා ණය මුදල සියයට 7 පොලී අනුපාතය යටතේ  ක්‍රියාත්මක වේ.

මෙම සහනය මත රජයේ සේවකයකුගේ මාසික වැටුප් වැඩිවීම රු.2500-3000ක් අතර වන බව එස්.ආර්.ආටිගල මහතා පෙන්වා දී තිබේ.

රජයේ සහ රජයේ නොවන සේවකයන් වෙනුවෙන් විදුලි සූර්ය පැනල සිය වහලයට සවි කිරීම සඳහා දැනට සියයට 4 පොලී අනුපාතයට රුපියල් ලක්ෂ 08ක් දක්වා ණය මුදල් ලබා දීම සිදු වේ.

මෙම කන්නයේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණය ලබා දීමේ කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී උපදෙස් ලබා දී තිබේ.

Visits: 78