විදේශීය සංචාරකයින් සඳහා රක්ෂණ සැපයුම්කරු ලෙස පීපල්ස් ඉන්ෂුවරන්ස් SLTDA හා ගිවිසුමකට

ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය සේවා සැපයුම් සමූහයේ සාමාජිකයකු සහ ප්‍රමුඛතම රක්ෂණ සේවා සැපයුම්කරුවකු වන පීපල්ස් ඉන්ෂුවරස් සමාගම, විදේශීය සංචාරකයන් සඳහා නැවත වරක් ශ්‍රී ලංකාව විවෘත වීමත් සමග ඔවුන් හට ආරක්ෂිතව දිවයිනට පැමිණීම සහ පිටවීම සහතික කිරීමේ අරමුණින් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ඉදරිපත්ව ඇතැයි පවසයි.

මෙම ‍රක්ෂණ සේවා සැපයීම සඳහා වන ගිවිසුම්ගත වීම පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිය. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  විසින් නියම කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව, මෙම අනිවාර්ය රක්‍ෂණ ක්‍රමය අන්තර්ජාල හරහා සංචාරක වීසා සඳහා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සංචාරකයින්, ශ්‍රී ලාංකීය නොවන විදේශ ගමන් බලපත්‍ර දරන්නන්, ද්විත්ව පුරවැසි විදේශ ගමන් බලපත්‍ර දරන්නන්, විදේශීය හෝ ද්විත්ව විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සහ  ව්‍යාපාරික වීසා දරන්නන් සදහා පිරිනමනු ලැබේ.

මෙහිදී සංචාරකයකු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ COVID-19 ආසාදිතයකු බවට පත්වුවහොත් හෝ ආසාදිත රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් බවට පත්වුවහොත් COVID-19 පැතිරීම වළක්වාලීම සඳහා වන සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් අනුගමනය කරනු ලබන අතර, එහිදී රෝහල් ගතකිරීම, නිරෝධායන හෝටල් ගාස්තු සහ ඒ හා සම්බන්ධ ක්‍රියා පටිපාටි සඳහා වන වියදම් මෙම රක්ෂණයෙන්  ආවරණය කෙරේ.

මෙම කාර්යයේදී අමතර ආරක්ෂණ ආවරණයක් ලෙස පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය, අන්තර්ජාතික ප්‍රතිරක්ෂණ වෙළෙඳපොළේ ශක්තිමත් ප්‍රතිරක්ෂණ සමාගම් වල සහාය ද ලබාගැනීමට සමත්ව ඇත. මෙහිදී රක්ෂණ ආවරණය  ලබා ගැනීම, රක්ෂණ සහ වන්දි උපදෙස් ලබා ගැනීම සහ වන්දි හිමිකම් ඉල්ලුම් කිරීමත්, එම ගාස්තු පියවීමත් නූතන තාක්ෂණය යොදා ගනිමින් පරිගණක මාර්ගගත ක්‍රමයට සිදු කෙරෙනු ඇත. 

මෙම නව සේවාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් හි සභාපති ඉසුරු බාලපටබැඳි මහතා “COVID-19 වසංගතයෙන් ඇතිවන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙවැනි සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමවේදයක පහසුකම් සැපයුම්කරු බවට පත්වීම පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය ලෙස ඉමහත් ආඩම්බරයක් ගෙනදෙන කාරණයක්. මෙම හවුල්කාරිත්වය තුළ හුදෙක් රක්‍ෂණකරුවෙකුට වඩා වැඩි සබඳතාවයක් නිර්මාණය කරන අතර, පසුගිය වසරේදී කොවිඩ් වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකියයුතු බලපෑමක් ඇති කර ඇති හෙයින්, පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විදිහට අපි මේ අවස්ථාව සලකන්නේ දුෂ්කර අවස්ථාවක ජාතියේ ආර්ථික යාන්ත්‍රණය සවිබල ගැන්වීමේ අපගේ ජාතික යුතුකම ඉටුකිරීමට ලැබුණු අවස්ථාවක් ලෙසයි.” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ  සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය අදහස් දක්වමින් “පසුගිය මාස කීපය තුළ අප විසින් සිදුකල සංචාරක නියමු ව්‍යාපෘතියෙන් පසුව, රක්ෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් යුත් ශක්තිමත් රක්ෂණ සමාගමක අවශ්‍යතාවය අපට අවබෝධ වුණා. මෙහිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අප සමග එක්විම සම්බන්ධයෙන් පීපල්ස් ඉන්ෂුවරන්ස් හි සමස්ත කණ්ඩායමට මගේ ස්තූතිය පුදකර සිටිනවා වගේම, දැනට පවතින වසංගත අහියෝග හමුවේ වුවද මෙයින් ශ්‍රී ලංකාව ආරක්ෂිත ගමනාන්තයක් බවට පත්වෙනු ඇතැයි  මා විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවාය.

ශ්‍රී ලාංකීය රක්ෂණ වෙළෙඳපොළ තුළ වේගයෙන් වර්ධනය වන ආයතනයක් ලෙස පීපල්ස් ඉන්ෂුවරන්ස්, රුපියල් බිලියන 6කට අධික වාර්ෂික වාරික ආදායමක්, රුපියල් බිලියන 10ක වත්කම් සහ  ෆිච් ශ්‍රේණිගත කිරීම් වල ‘A+’ හිමිකරගෙන ඇත. තවද පීපල්ස් මූල්‍ය සමූහයේ සාමාජිකයකු ලෙසින් පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සඳහා ප්‍රමුඛ රාජ්‍ය ආයතනයන් වෙත රක්ෂණ ආවරණය සැපයීමේ හැකියාවද ලබා දී ඇත. මෙහිදී ඔවුන්ගේ දැක්මට අනුව නව්‍යකරණය සහ සේවා විශිෂ්ටත්වය තුළින් රක්ෂණයේ අගය වර්ධනයට අඛණ්ඩව නායකත්වය ලබාදීම අරමුණු කෙරේ.

Visits: 31