ලංකාවේ රෝයල් ෆර්න්වුඩ් නවසීලන්තයේ Rakon සමාගමට තාප පරිවාරක නිපදවයි

ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම් සමූහයට අයත් පෝර්සිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රෝයල් ෆර්න්වුඩ් පෝර්සිලේන් පෞද්ගලික සමාගම නවසීලන්තයේ පිහිටි දුරකතන සන්නිවේදන, අභ්‍යවකාශ සහ ආරක්ෂක උපාංග නිපදවීමේ නිරත ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන Rakon Limited සමාගම වෙත පෝර්සිලේන් ආශ්‍රිත ඉංජිනේරුමය උපාංග නිපදවීම අරඹා ඇතැයි පවසයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී ඔවුන් විසින් නවසීලන්තයේ Rakon සමාගම වෙත තාප පරිවාරක (හීට් ඉන්සියුලේටර්) උපාංග නිපදවයි. ඒ අනුව පෝර්සිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනයට අමතරව රෝයල් ෆර්න්වුඩ් පෝර්සිලේන් සමාගම මෙවැනි අකාරයේ උපාංග නිපදවීම සඳහා යොමුවුණු පළමු අවස්ථාවද මෙය වෙයි.

මේ සම්බන්ධයෙන් එම සමාගම මගින් නිකුත් කළ නිවේදනයක් තුළ අදහස් දක්වන රෝයල් ෆර්න්වුඩ් පෝර්සිලේන් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී යොෂාන් ප්‍රනාන්දු මහතා, “මෙලෙස තාප පරිවාරක නිෂ්පාදනය කිරීම සැබැවින්ම අපට අභියෝගාත්මක කටයුත්තක් වුණා. එහෙත් අප මෙය අවස්ථාවක් බවට පත් කරගනිමින් සාර්ථකත්වය ළගා කරගත්තා.” යනුවෙන්  පවසා සිටියි.

විශේෂයෙන්ම රෝයල් ෆර්න්වුඩ් සමාගම තවදුරටත් නවෝත්පාදන වෙත යොමුවෙමින් සිය සීමා පුළුල් කිරීම් වෙත යොමු වෙමින් මෙතෙක් අත්හදා නොබැලූ ආකාරයේ නිෂ්පාදන සිදු කිරීම සඳහා යොමු වන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පවසයි.

මෙලෙස නිපදවෙන තාප පරිවාරක උපාංගය වෙත සෙල්සියස් අංශක -60ක පමණ උෂ්ණත්වයක සිට සෙල්සියස් අංශක 120ක් දක්වා වූ උෂ්ණත්වයක් දරා ගෙන සිටීමේ හැකියාව පවතී. මෙම පරිවාරක හීටර දඟර රඳවා තබා ගැනීම සඳහා යොදා ගනී.

“මෙම තාප පරිවාරක නිපදවීමත් සමගින්ම මෙතෙක් කලක් පෝර්සිලේන් පාදක පිඟන් භාණ්ඩ නිපදවමින් සිටි රෝයල් ෆර්න්වුඩ් සමාගම සිය නිෂ්පාදන වෙනත් තලයකට මාරු කර තිබෙනවා.” එම සමාගම මෙම නිවේදනයේ වැඩිදුරටත් පවසා සිටියි.

නවසීලන්තයේ Rakon සමාගම ඉහළ තාක්ෂණයක් යොදා ගනිමින් නිෂ්පාදන සිදු කරන ආයතනයක් ලෙස ගෝලීයව ඉහළ පිළිගැනීමකට ලක්ව සිටියි. ඔවුන් විසින් සංඥා පාලක සන්නිවේදන උපාංග නිර්මාණය සහ නිපදවීම සිදු කරයි. අද වනවිට සමාගම සතුව ප්‍රධාන වෙළෙඳ පොළ තුනක් පවතින අතර දුරකතන සන්නිවේදන, ගෝලීය ස්ථානීයකරණය (Global Positioning) සහ අභ්‍යවකාශ සහ ආරක්ෂක එම වෙළෙඳ පොළ වෙයි. එහිදී වේගවත් සහ වඩා විශ්වාසය තැබිය හැකි සන්නිවේදන උපාංග නිපදවීම අතින් Rakon සමාගම ඉදිරියෙන් සිටින බවත් පවසයි.

Visits: 295