HyPro නමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ස්මාර්ට් ෆෝනයක් වසර අගදී

මෙරටදී නිපදවෙන පළමු ස්මාර්ට්ෆෝනයේ නිෂ්පාදන කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී පමණ ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම පවසයි. දකුණු කොරියාවේ Lodule Co. ලිමිටඩ් කොරියා සමාගම (Lodule Korea) සමගින් ඇති කරගත් ඒකාබද්ධ එකඟතාවක් යටතේ මෙම ස්මාට්ෆෝන් නිපදවීමේ කටයුතු සිදු කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 900කි. මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා පසුගියදා මේ පිළිබඳව මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ. ඒ මහතා කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයාද වෙයි.

Lodule Co. ලිමිටඩ් කොරියා සමාගම දකුණු කොරියාව තුළ ජංගම දුරකතන සහ රූපවාහිනි උපාංග නිපදවීමේ නිරත සමාගමකි. 2015 වසරේ සිට එම සමාගම ලෝකයේ මුල් පෙළේ රූපවාහිනි සහ ස්මාට්ෆෝන් සන්නාම සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රිකල් උපාංග, LCD තිර, ජංගම දුරකකතන උපාංග සැපයුම් සිදු කරයි. 2016 වසරේදී එම සමාගම චීනයේ සිය කර්මාන්තශාලාවක් විවෘත කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා, “Lodule korea සමාගමට දැන් තමන්ගේම ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙලා. එහිදී ඔවුන් ශ්‍රී ලංකාව සමගින් ඇති කරගන්නා ඒකාබද්ධ එකඟතාවක් හරහා මේ කටයුතු ආරම්භ කරන්න තීරණය කර තිබෙනවා. මෙම ආයෝජනයේ වටිනාකම රුපියල් මිලියන 900ක්. දේශීයව ඊට එකතු වෙන අගය එකතු කිරීම 10%ක් පමණ වේවි.” යනුවෙන් සඳහන් කරයි.

සභාපතිවරයා සඳහන් කරන ආකාරයට කොළඹ 11 ප්‍රදේශයේ පිහිටුවෙන මෙම කර්මාන්තශාලාවේ යන්ත්‍ර සවි කිරීම ලබන මැයි මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ස්මාට් දුරකතන ලබන දෙසැම්බර් මාසයේදී පමණ නිපදවීමට හැකියාව ලැබෙනු ඇතැයි සමාගම පවසයි. එහිදී HyPro සන්නාමය යටතේ ඉදිරිපත් කෙරෙන මෙම ස්මාට් දුරකතනය, බොහෝ පිරිසකට මිලදී ගත හැකි ලෙස රුපියල් 10,000ක අවම මිලකට නියම කිරීමටද සැලසුම් කෙරී තිබේ.

ඒ අනුව මෙම කටයුතු සඳහා ලබන මැයි මාසයේදී Lodule Korea සමාගමේ ජංගම දුරකතන නිෂ්පාදන ඉංජිනේරුවන් 10 දෙනෙකු මෙරටට පැමිණ කටයුතු ආරම්භ කරන බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. එසේම සමාගම 2022 වසරේ ජනවාරි මාසයේ සිට සිය නිෂ්පාදන අපනයන කිරීමට ද සැලසුම් කර තිබෙන බවත් පැවසෙයි.

විශේෂයෙන්ම වසංගත තත්ත්වයත් සමගින්ම රට තුළ අන්තර්ජාලය හරහා ඉගෙනීම සහ නිවසේ සිට රැකියා කිරීමේ සංකල්පය වෙත වැඩි අවධානයක් ඇතිව තිබෙන බවත් ඒ හේතුවෙන් ජංගම උපාංග සඳහා වන ඉල්ලුමද ඉහළ ගොස් ඇති බවත් සමරවික්‍රම මහතා මෙහිදී සඳහන් කරයි.

“ඒ වගේම රජය පැහැදිලිවම මුදල් නෝට්ටු නොමැති ඩිජිටල් සමාජයක් වෙත යොමු වෙමින් තිබෙනවා. එතැනදීත් ජංගම උපාංගවල අවශ්‍යතාවක් ඇති වෙනවා.” ධම්මික සමරවික්‍රම මහතා වැඩිදුරටත් පවසයි.

ධම්මික සමරවික්‍රම මහතා පවුලේ ව්‍යාපාරයක් ලෙස ඉදි කළ මයික්‍රො ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගම ඉලෙක්ට්‍රිකල් උපාංග සහ උපාංග දේශීයව මෙන්ම ගෝලියවත් අලෙවි කිරීමේ සමාගමක් ලෙස වසර 25ක් පුරා ක්‍රියාත්මක වෙයි.

මෙලෙස නිපදවෙන Hypro ජංගම දුරකතන ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම දුරකතනය හරහා පරිශීලකයන්ට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ආගමික දේශනා තෝරා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවත්, එම ඔප්ෂනය සඳහා ඉදිරියේදී පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට පියවර ගන්නා බවත් මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 350